Channel Avatar

Madhawa Wijesekara @UCp9luwrUdoXmnwD3a8mzO6A@youtube.com

48K subscribers - no pronouns :c

More from this channel (soon)


Welcoem to posts!!

in the future - u will be able to do some more stuff here,,,!! like pat catgirl- i mean um yeah... for now u can only see others's posts :c

Madhawa Wijesekara
Posted 4 months ago

2023 O/L ICT MCQ Answers

9 - 2

Madhawa Wijesekara
Posted 1 year ago

32 - 0

Madhawa Wijesekara
Posted 1 year ago

දුවන ජීවිත

මේ කතාව ලියන්න හිතුනේ නුවරඑළිය චාරිකාවක් ගිහින් එනකොට ලබපු අත්දැකීමක් නිසා.

නුවරඑළියේ ඉඳලා රම්බොඩ හරහා පේරාදෙණියට එන මාර්ගයේ රම්බොඩට ටිකක් මෙහා පලාගොල්ල හරියෙදි දහඅට වංගුව වගේ විශාල වංගු ප්‍රමාණයක් තියෙන බව ඔබ දන්නවා ඇති.

සාමාන්‍යයෙන් ඔය මාර්ගයේ දෙපැත්තේ නුවරඑළියට ආවේණික එළවළු පලතුරු මල් වර්ග එහෙම විකුණන අය ඉන්නවා. ඒ අතරෙදි එක්තරා තරුණ හැඩිදැඩි පිරිමි ළමයෙක් අපේ බස් එක ඉස්සරහින් මල් මිටියක් අරගෙන දුවගෙන යනවා විකුණගන්න. නතර කරන්නෙ නැතුව ඉස්සරහට ගියාම ඊළඟ වංගුව අරගෙන පල්ලම් බැහැගෙන යද්දි මෙන්න එයාම ඉස්සරහින් ආයෙත් මතු වෙනවා. කලින් බස් එක එයාව පහු කරගෙන එනකොට එයා වංගු අතරේ තියෙන තේ වතු මැද්දෙන් short cut වලින් අපිට කලින් දුවගෙන ඇවිත්.

එහෙත් නතර කරන්නෙ නැතුව ඉස්සරහට යනවා. ඊළඟ වංගුව අරගෙන ආපහු අනිත් පැත්තට එනකොට මෙන්න එයාම ආයෙත් මතු වෙනවා. ඔය විදිහට වංගු හතරක් නැත්නම් පහක් එයාම එන්න ඇති. අන්තිමට බැරිම තැන එක්තරා පලතුරු කඩයක් ගාව නතර කරාම එයා ළඟට දුවගෙන ආවා.

"මල්ලි ඔයා මාර දිවිල්ලක් නේ දිව්වේ. ඔය මල් මිටියට කීයක් බලාපොරොත්තු වෙනවද?" "අනේ මහත්තයා මේකෙන් තමයි ජීවත් වෙන්නේ රුපියල් 1500 ක් වෙනවා." ඔහු ඉතා අහිංසකව කිව්වා. ඇත්තම කියනවා නම් අපිට මල් ගන්න කිසිම අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. මොකද ඔය මල් අරගෙන දවසයි දෙකයි තියාගන්න පුළුවන්.

ඒත් දුවපු දිවිල්ලට කීයක් හරි දෙන්න අපි බලනකොට ඔහු පැත්තකට ගිහින් මුලින්ම වතුර ටිකක් බිවුවා. බීලා හති ඇර ඇර ඉන්නකොට ටික වෙලාවකින් තවත් වාහනයක් ඔහුව පහුකරගෙන යන්න ගත්තා. සුපුරුදු විදිහට අර මල් මිටියත් අරං අපි හිටපු තැනින් පහලට කලින් ආවා වගේම වේගයෙන් shortcut අතරින් දුවගෙන ගියා. ඊට ටික වෙලාවකට පස්සෙ ඒ වගේම මල් මිටියක් අතින් ගත්ත තවත් පිරිමි ළමයෙක් එතනින්ම පල්ලෙහාට දිව්වා.

පලතුරු අරගෙන අපි ගමන ආරම්භ කරලා ඉස්සරහට යනකොට වංගු තියන අවසාන හරියේදී මේ දෙන්නාම බෝක්කුවක් උඩ ඉඳගෙන හති ඇර ඇර ඉන්නවා.

රුපියල් 1500ක් හම්බකරගන්න මෙච්චර වේගයෙන් දුවන තරුණ ජීවිතවලින් හරි ප්‍රයෝජනයක් ගත්තොත් රටේ ශ්‍රම බලකායට කොච්චර වටිනවද කියලා මට හිතුණා.

46 - 1

Madhawa Wijesekara
Posted 3 years ago

33 - 0

Madhawa Wijesekara
Posted 3 years ago

අතීතයේ දවසක අම්පාර නගරයේ පැවැති සංගීත වැඩසටහනක් නිම කර කුඩා වේලාවක් විවේක ගැනීමෙන් පසු සංගීතවේදී සනත් නන්දසිරි, ගුවන් විදුලි නිවේදක ප්‍රියානන්ද විජේසුන්දර ඇතුලු පිරිස කොලඹ බලා වෑන් රථයකින් පැමිණෙමින් සිටියෝය. වඩිනාගල පසුකරමින් සියඹලාණ්ඩුව ප්‍රදේශයට එන විට මධ්‍යම රාත්‍රියත් පසුවී තිබිණ.

ඒ දිනවල එම ප්‍රදේශය ඉතා පාළු කැලෑබද ප්‍රදේශයක් වූ අතර ලාහුගල වනෝද්‍යානයේ සිටින අලි ඇතුන් ගල් ඔය වනෝද්‍යානයට මාරුවන "අලි මංකඩ" ඒ හරහා විය.

බොහෝ දෙනා අඩ නින්දේ පසු වුනත් ප්‍රියානන්ද සහ සනත් දෙදෙනා ඇහැ ඇරගෙන විටින් විට කෙටි කතා බහේ යෙදුනෝය. පාර අබලන් වූ නිසා ඔවුන් පැමිණි රථය ගමන් ගත්තේද ඉතාම හෙමිනි.

පාරේ ඈතින් කුඩා සෙලවෙන ආලෝකයක් දුටු අතර ලංවීමේදී දක්නට ලැබුනේ වයස අවුරුදු දහයක පමණ කුඩා සාමණේර හිමි නමක් රෙදි බෑග් මල්ලක් කරේ එල්ලා ගෙන පන්දමක් අතින් දරාගෙන සීතල රාත්‍රියේ දාඩිය දමාගෙන වේගයෙන් පාර දිගේ ඇවිදින අයුරුය.

හිමි නම ලංවනවාත් සමගම වාහනය මදකට නතර කර වූ ප්‍රියානන්ද "පොඩි හාමුදුරුවො කොහෙද මේ මහ රෑ දෙගොඩ හරියේ තනියම කැලේ මැද්දෙ පන්දමකුත් අරගෙන වඩින්නෙ..? පන්සලෙන් පැනල යනවද..?"

ඔහු දෙස මදක් වෙලා බලා සිටි හිමියන්ගේ ඇස් දෙක කඳුලින් බරවී අඬන්නට විය.

"අපේ අම්මට අමාරුයි කියල පණිවිඩයක් ආවා මහත්තයෝ. මාත් එක්ක යන්න කවුරුවෙත් නැති නිසා මම තනියම යනව ඉක්මනට"

"අම්මට මොකක් වෙලාද....?"

"නංගිල දෙන්න බඩගින්නෙ අඬනකොට එයාලට කන්න අල වගයක් හාරන්න බැද්දට ගිය වෙලාවේ වතුර හොයා ගෙන යන හැපින්නක් පෑගිලා. ඌ අම්මට ගහල මහත්තයෝ. අම්මට අන්තිම ලු මහත්තයෝ."

"එතකොට පොඩි හාමුදුරුවන්ගෙ තාත්ත...?"

''අවුරුදු දෙක තුනකට කලිං ගහකින් වැටිල මැරුන මහත්තයෝ"

"පවුලේ තව කවුද ඉන්නේ?"

"නංගිලා දෙන්නා විතරයි"

"ඉතිං අම්ම මොකද කරන්නෙ.....?"

"අම්ම පුලුවන් දවසට ගඩොල් කපන්න යනවා. ඒත් නංගිල පොඩි නිසා හැමදාම යන්නෙ නැහැ."

ප්‍රියානන්දට එතනින් එහාට කතා කර ගත නොහැකි විය. රථයේ සිටි සියල්ලෝම තෘෂ්නිම්භූතව බලා සිටින්නට විය.

"පොඩි හාමුදුරුවො නගින්න මේකට. අපි ගෙදරට ඇරලන්නම්"

"අපේ ගෙදරට යන පාරේ මේව යන්න බැහැ මහත්තයෝ. ගොඩාක් පාරෙන් ඇතුලෙ. දොලකින් එගොඩ වෙලා යන්නත් තියෙනව"

"කමක් නැහැ පොඩි හාමුදුරුවො නගින්න. අපි ගෙදරට යන පාර ලගදි බස්සවන්නම්"

"ඒත් මම මේ පන්දම නිව්වොත් මට ආපහු පත්තු කර ගන්න වෙන්නේ නැහැ..මගේ ගාව ගිනි පෙට්ටියක් නැහැ මහත්තයෝ"

රියදුරා ලඟ වාසනාවට ලයිටරයක් තිබිණ. ටික දුරක් එම රථයේ ගිය එහිමියන් "මහත්තයලට ගොඩාක් පිං. මම තනියම ආවේ බයෙන්. ඒත් මම අම්මට ගොඩාක් ආදරෙයි. අම්ම මාව මහණ කලේ තාත්ත මැරුනු නිසා. එදා අම්ම ගොඩාක් ඇඬුව මහත්තයෝ. තෙරුවන් සරණයි.."

රථයේ සිටි සියලු දෙනා වහාම තම අත තිබූ මුදල් හැකි පමණින් එකතු කර ඒ හිමියන්ට දී "පරිස්සමින් යන්න. අම්මට ඉක්මනට හොද වෙයි" කියමින් සාමනේර හිමියන්ට සමුදෙන්නට විය.

මේ සිද්ධිය සියලු දෙනාටම මහා කම්පනයක් ඇති කළ අතර එක දිනක් මේ ගැන සිතමින් සිටි ප්‍රියානන්ද මෙසේ ලියන්නට විය.

භවයෙන් භවයේ පෙරුම් පුරා මම
බවුන් වඩා උපදින වාරේ..
දිනයක මතුදා හතර වරිගයම
එතෙර කරන්නම් සංසාරේ..
ඉන් පසු ඇවිදින් අම්මේ ඔබ ලඟ
ඉන්නම් කිරි සුවඳේ වෙලිලා..
කොහොමද අම්මේ එහෙම කරන්නේ
අම්මත් සසරින් එතෙර වෙලා..

බෝ මලුවේ මල් සුවඳක පැටලී
අම්මා පෙව් කිරි සුවඳ ගලා එන්නේ..
සුපුරුදු උණුසුමකට හිත ඈඳී
ගේ දොර සෙල්ලම් පිටිය මතක් වෙන්නේ..
දං බෝවිටියා කැලේ මැදින්
එන්න සිතයි නුඹ ලඟට සැනින්..

එතෙර කරන්නම් හතර වරියගම
සංසාරේ යන මේ ගමනින්..
චුට්ටක් සෙල්ලම් කරලා එන්නද
පුරුදු යහලුවන් හා සැණිනේ..
එහෙම ගියොත් ඒ අය පොඩි සාධු
කියා කියනවිට වැඳ වැටිලා..
කොහොමද අම්මේ ඔට්ටු දුවන්නේ
වෙල් ඉපනැල්ලේ පැන නටලා..

"මහණෙනි, මේ අනවරාග්රවූ සංසාර ගමනේදී ඒ ඒ භවයන්හිදී තම මව් මළ දුකට අප විසින් හෙලන ලද කඳුලු ප්‍රමාණය සතර මහා සාගරයේ ජල කඳටත් වඩා වැඩිවන්නේය. අවිජ්ජා නීවරණයන්ගෙන් වැසී, තණ්හා සංයෝජනයගෙන් බැඳී ඔබත් මමත් අනාදිමත් කාලයක් තිස්සේ ඒ මේ අත සැරිසරන ලදී.." (සංයුත්ත නිකාය, අනමතග්ග සංයුත්තය, අස්සු සූත්‍රය)

56 - 5

Madhawa Wijesekara
Posted 3 years ago

මෙම සිතුවම් ඇඳ තිබෙන්නේ ජාතික ගීයේ නිර්මාතෘවර ආනන්ද සමරකෝන් මහතා බව ඔබ නිකමටවත් සිතුවාද? සැබැවින්ම ඔහු විදේශයන්හි ප්‍රචලිත වූයේ චිත්‍ර ශිල්පියෙක් ලෙසයි.

උපුටාගැනීම - මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසින් රචිත ආනන්ද සමරකෝන් අධ්‍යයනය කෘතියෙන්

42 - 1

Madhawa Wijesekara
Posted 3 years ago

මෙම සිතුවම් ඇඳ තිබෙන්නේ ජාතික ගීයේ නිර්මාතෘවර ආනන්ද සමරකෝන් මහතා බව ඔබ නිකමටවත් සිතුවාද? සැබැවින්ම ඔහු විදේශයන්හි ප්‍රචලිත වූයේ චිත්‍ර ශිල්පියෙක් ලෙසයි.

උපුටාගැනීම - මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසින් රචිත ආනන්ද සමරකෝන් අධ්‍යයනය කෘතියෙන්

53 - 2

Madhawa Wijesekara
Posted 3 years ago

හසරක් නොපෙනෙන
මග දිග සපැමිණ
අයාලයේ ආ ගමනක්...
බහුරූ කෝලම් විසූක දස්සන...
අතුරක් නොමැතිව ඇස කන රවටන...
මේක නාඩගම් මඩුවක්...

45 - 1

Madhawa Wijesekara
Posted 3 years ago

කලු ජුලියේ දි රටට අහිමි වු විජයා චිත්‍රාගාරය
(සිංහල සිනමාවට ගිනි තැබු කළු ජුලියට වසර 38 – 1983-2021)

උපුටාගැනීම - m.facebook.com/groups/2652595...

--------
දේශීය සිංහල සිනමාව ස්වාධීනව නැගි සිටිමේදි, ඊට පාදක වු මුලිකම කාරණයක් වුයේ තාක්ෂණය සහ භෞතික සම්පත්ය. 1960 දශකය වන විට, කලු-සුදු කථානාද සිනමා නිර්මාණයකට අවශ්‍ය සියලුම තාක්ෂණ මෙවලම් සහ පහසුකම් ලංකාවේ තිබිණ. සිනමා කර්මාන්තයේ අවශ්‍යතා සඳහා ඉන්දියාව වැනි රට වලට යෑම පවා රජයෙන් තහනම් කල අතර එදා මෙහි සිටි ඉන්දියන් සිනමා ශීල්පීන් රටින් පිටව ගියහ.

මේ සිනමා කාර්යය සඳහා මුලික වු ශ්‍රී ලංකා සිනමා කර්මාන්ත කරුවන් අතර ඉදිරියෙන් සිටින්නේ කේ.ගුනරත්නම්ය (1917-1989). සැබැවින්ම ඔහු දේශීය සිනමාවේ “මූගල්ය” (Mogul of Sri Lankan Cinema) සහ ශ්‍රී ලාංකීක සිනමාවේ දෘෂ්ටිකයෙකු (Cinema Visionary) විය. දේශීය සිනමාව ස්වාධීන කර්මාන්තයක් කිරීමට ඔහු මහා දායකත්වයක් ලබා දුන්නේය. ඔහු ගොඩ නැගු එදා සිනමාවේ සම්පත් අතර මුලික වන්නේ සිනමා තාක්ෂණය සහ භෞතික සම්පත්ය. 60 දශකය ආරම්භයත් සමග කේ. ගුණරත්නම් ආරම්භ කල සිනමාස් ආයතනනය 70 දශකයේ සිනමාවට දැවැන්ත ආරම්භයක් ලබා දුන් අතර දේශීය සිනමා කර්මාන්තයට පදනමක් ද දැමිය.

කේ. ගුණරත්නම් දියණියගේ නමින් ගොඩ නැගුනු හැඳල “විජයා” විත්‍රාගාරය සිනමාවට මහා මෙහෙයක් කිරිමට දායක විය. එදා, කලු සුදු චිත්‍රපටියක් නිර්මාණය කිරීමට දැඩි තාක්ෂණ ක්‍රියාවලියක් අවශ්‍ය විය. ඒ සඳහා අවශ්‍ය වු සියලුම ශ්‍රව්‍ය දෘෂය තාක්ෂණය සහ පහසුකම් විජයා විත්‍රාගාරයේ තිබිණි. 60 - 70 දශකයේ සිටි නලු නිලියන් ඇතුලු සියලුම සිනමා ශීල්පීන්ගේ දැනුම හැකියාව දියුණුවට විජයා චිත්‍රාගාරය පාසලක් බඳු විය. කේ.ගුනරත්නම් සිය නිෂ්පාදන වල ගුනාත්මක බව ගැන බොහෝ සෙයින් සිතු බව ප්‍රවිණ සිනමා නිෂ්පාදක ගාමිණි ලක්ෂන් ප්‍රනාන්දුගේ අදහසයි. ඔහු දැක ඇති පරදි, කේ ගුනරත්නම් සිය නිෂ්පාදන කණ්ඩායමෙන් බලාපොරොත්තු වන්නේ නිපදවිය හැකි හොඳම නිර්මාණයයි. හැඳල විජයා චිත්‍රාගාරය ද එසේ ගුනාත්මක්ව සහ තාක්ෂණය මත පදනම්ව පවත්වාගෙන ගිය එකක් යැයි සැලකේ.

1983 කලු ජුලියේ දි, අධම මිනිසුන් විසින් විජයා චිත්‍රාගාරය ගිනි තබන විට එහි තිබු චිත්‍රපට සියල්ලම පාහේ විනාශ විය. අද තිබුණි නම් එම නිර්මාණ මිල කල නොහැක. සමහරක් චිත්‍රපට පැහැරගෙන ගොස් ඇති බව සඳහන්ය. වරක්, රූපවාහිනි වැඩ සටහනකට සභභාගි වෙමින් පත්මරාජ් ගුනරත්නම් (කේ.ගුනරත්නම්ගේ පුතා) ඉල්ලා සිටියේ යම් කෙනෙක් ලඟ තිබෙන නම් එම චිත්‍ර පටි ලබා දෙන ලෙසයි. මෙම සපාරාධි ගිනි තැබිම සමස්ත සිංහල සිනමාවම ගිනි තැබිමක් ලෙස සැලකිය යුතුයි යැයි සිතමි. මන්ද, එදා සිදු වු අපරාධයෙන් සිංහල සිනමා කර්මාන්තයට සහ සිනමා සාහිත්‍යට බෙහෝ දේ අහිමි විය, ඒ අතර 70 දශයේ මෙරට බිහි වු සිනමා නිර්මාණ රසවිඳිමට අද පරපුරට අවස්ථාවක් නැති විය.

21 - 0

Madhawa Wijesekara
Posted 3 years ago

මගේ ජීවිතය වෙනස් කළ ගණිත ගුරුතුමා - එච්. ඒ. සමරසිංහ ගුරුපියාණන්

1995 සිට 1999 දක්වා මොරටුව වේල්ස් කුමර විදුහලේ ප්‍රාථමික අධ්‍යාපනය ලැබූ මා 5 වසර ශිෂ්‍යත්වය සමත් ව කොළඹ මහානාම විද්‍යාලයට ඇතුළත් වූයේ 2000 දීය.

එකල සිටම ගණිතය විෂයට මා තරමක් දුර්වල බවක් දැක්වූ අතර ගණිතය සඳහා අමතර පන්තියක් සෙවීමට මගේ මව උනන්දු වූ අතර එවකට අපේ පවුලේ හිතවතෙකු වූ එච්. ඒ. සමරසිංහ ගුරුපියාණන් වෙත 2001 වසරේදී කැඳවාගෙන යන ලදී.

මොරටුව රාවතාවත්තේ, ධර්මරත්න මාවතේ, පිහිටි එතුමාගේ නිවසට මා කැඳවාගෙන ගොස් "ඔන්න සර්ට අලුත් ගෝලයෙක් ගෙනාවා" කියා මගේ අම්මා එදා කිව්ව හැටි මට තාමත් මතක් වේ. ඊට පෙර සිටම සර්ගෙ බිරිඳ ස්වර්ණිකා හෙට්ටිආරච්චි ගුරු මෑණියන් ඇතුළු ඇගේ පවුලේ සියලුම දෙනා ම පාහේ අප හොඳින් දන්නා හඳුනන අය වුවත් එකල සර්ගේ ගණිත පන්තියට මෙසේ සම්බන්ධ වීමට සිදුවේ යැයි මා කිසිසේත් නොසිතුවෙමි. මා සිතා සිටියේ ඔහු තරමක් සැර පරුෂ පුද්ගලයෙක් කියාය.

එහෙත් සමරසිංහ ගුරුතුමා ඉතාම ආදරණීය පුද්ගලයෙක් විය. ඔහු මාව පන්තිය වෙත කැඳවාගෙන ගොස් එදා දවසේ නියමිත පාඩම ඉගැන්වීමට පටන් ගත්තේය. "තේරෙන්නේ නැති දෙයක් තියෙනවනම් අහන්න ඕනේ" කියා ඉතාමත් ආදරයෙන් කියූ හැටි මට තාමත් මතක් වේ.

කාලයාගේ ඇවෑමෙන් මම 2005 වසරේදී අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීමට සූදානම් ව සිටියෙමි. සර්ගේ පන්තියට ගියත් මගේ ගණිතය විෂයට ගන්නා ලකුණු ප්‍රමාණය යම් තරමකට ඉහළට පැමිණියද මට කිසිම දවසක ලකුණු 70 ඉක්මවා යෑමට හැකියාවක් නොලැබුණි. ලකුණු 91ක් 8 වසරේ දී දෙවන වාරයේ දී ලබා ගත්තා හැර අන් කිසිම අවස්ථාවක මට ලකුණු 70 වත් ඉක්මවා යෑමට හැකියාවක් නොලැබුණි.

2005 වසරේ දෙවන වාර විභාගයේදී මා මගේ පාසල් ඉතිහාසයේ දී ගණිතය විෂයට ලබාගත් අඩුම ලකුණු සංඛ්‍යාව වාර්තා කරගත්තෙමි. එය ගණනින් 45 කි. මගේ මව ද මේ ප්‍රතිඵලය නිසා දැඩි ලෙස කණගාටුවට පත් විය. මටද හිතා ගැනීමට කිසිවක් නැත.

අන් සියලු විෂයන් සමත් වුණත් ගණිතය අසමත් වුණොත් හෝ හොඳ ප්‍රතිඵලයක් ලබා ගැනීමට නොහැකි වුවහොත් එය අනාගතයේදී දැඩි ලෙස බලපාන බව මම ද දැන සිටියෙමි. කිසිදා පන්තියේ පළමු දහ දෙනා ගෙන් පහලට නොගිය මම A සාමාර්ථ 8ක් හෝ 9ක් අනිවාර්යෙන්ම ලබාගන්නවා යැයි මට ඉගැන්වූ ගුරු මෑණිවරු පියවරු හැමදාම වාගේ අනාවැකි කිවූහ.

නමුත් සාමාන්‍ය පෙළ විභාගයට තව ඇත්තේ මාස හයක් පමණි. ගණිතයට ද A සාමාර්ථයක් ලබාගත යුතුමයි. එක්තරා දිනක සර්ගෙ උපකාරක පන්තියට සහභාගි වූ පසු මා සමග පුද්ගලිකව කතා කිරීමට අවශ්‍ය බව පවසා අන් සිසුන් සියලුම දෙනා යන තුරු සිට "මොකද පුතා වුනේ?" යනුවෙන් මගෙන් ඇසුවේය. "මම දන්නෙ නෑ සර් මට හිතාගන්න බෑ මොකක්ද වුණේ" කියා මම පිළිතුරු දුන්නෙමි.

"අපිට තියෙන්නේ තව මාස හයයි. ඔයා අනිවාර්යෙන්ම A සාමාර්ථයක් ගන්න ඉන්න ළමයෙක්. හැබැයි අපි මීට වඩා තව උනන්දු වෙන්න ඕන. හැම දෙයක්ම මුල ඉදලා කරන්න පටන් ගන්න ඕනේ. වෙනම අභ්‍යාස පොතක් අරගෙන 10 වසරේ ඉඳලා ආදර්ශ ප්‍රශ්න පත්තර ආදර්ශ ගණන් අරගෙන හදලා මට ගෙනත් දෙන්න. මම අනිවාර්යෙන්ම වැරදි අඩුපාඩු හදලා පෙන්නනවා." යනුවෙන් මට එක්තරා උපදෙසක් ඔහු ලබා දුන්නේය.

ඒ අනුව මම මාස්ටර්ගයිඩ් ආදර්ශ ප්‍රශ්න පත්තර 10 ශ්‍රේණියේ සිට අදාල සියලුම ප්‍රශ්න පත්‍ර ඉමහත් ඕනෑකමින් සිදුකර සර්ට හැමදාම පන්තිය තියෙන දවසට ගොස් වෙනමම පොත බැලීමට දුන්නෙමි. මෙසේ මූලික සිද්ධාන්ත ටික නැවතත් මා කිසිවක් නොදන්නා කෙනෙකු සේ සිදු කරන්නට පටන් ගැනීම නිසා ක්‍රමයෙන් මගේ ආත්ම විශ්වාසය වර්ධනය විය. ගණන් හැදීමට මට ඇති ආශාව දිනෙන් දින වර්ධනය විය. එයට මා කොතරම් ඇබ්බැහි වුණේ ද කිවහොත් කෝණික සමච්ඡේදනය රෑ සිහිනෙන් පවා පෙනෙන්නට පටන් ගත්තේය.

එම වසරේදී පාසලෙන් පවත්වන ලද තුන්වන වාර විභාගයෙන් ද ලකුණු 66ක් ලබා ගැනීමට මට හැකි විය. දෙසැම්බර් මාසයේ පවත්වන ලද සා.පෙළ විභාගයේ දී ගණිතය ප්‍රශ්න පත්‍රයට මා ඉතාමත් පහසුවෙන් මුහුණ දී නිවසට පැමිණියේ පැවරූ රාජකාරිය නිසි ලෙස සම්පූර්ණ කළා යන හැඟීමෙන් යුතුවය. ප්‍රතිඵලය එන විට මට ගණිතයට A සාමාර්ථයක් ලැබී ඇත.

සර් ගේ ගුරුහරුකම් මැද ළකුණු 70ක් වත් ලබා ගන්න බැරුව සිටි මම ගණිතය අති විශිෂ්ට ලෙස සමත් වී ඇත. එදා ඔහු සතුටින් ඉපිළ ගිය අයුරු මට දැනුත් සිහියට නැගේ. එම ප්‍රතිඵලය එසේ නොවුණි නම් අද බොහෝ දුරට මගේ විභාග සහතිකය මට ද පිළිකුලක් ගෙන දෙන්නක් වීමට ඉඩ තිබුණි.

මොරටුව වේල්ස් කුමර විදුහලේ හොකී ක්‍රීඩාව ආරම්භ කරමින් දක්ෂ හොකී පුහුණුකරුවෙක් ලෙස සේවය කළ ඔහු සත්‍යවශයෙන්ම ගණිතය විෂයේ දී ද ඉතාමත් නිවැරදි පුහුණු කරුවෙක් වූ බව මට පසක් වේ. යම්කිසි ක්‍රීඩකයෙකුගේ අඩුපාඩු තිබේනම් ඒ ක්‍රීඩකයා සමග පුද්ගලිකව කතාබහක් කර basics ටික නැවත මුල සිට කිරීමෙන් ක්‍රීඩකයෙකුගේ ආත්ම විශ්වාසය වැඩි කරන්නා සේ ඔහු මගේ ගණිතය විෂයේ තිබුණු ආත්ම විශ්වාසය ද වැඩි කළේය.

මාතලේ ප්‍රදේශයේ ඉපිද විවාහ යෝජනාවක් අනුව ස්වර්ණිකා හෙට්ටිආරච්චි ගුරුතුමිය සමඟ යුගදිවියට පැමිණි හෙතෙම තම බිරිඳ සමග මොරටුව රාවතාවත්තේ ධර්මරත්න මාවතේ තම නිවහන ඉදිකලේ මොරටුව වේල්ස් කුමර විදුහලේ ගුරු වෘත්තියේ යෙදීමෙන් සහ උපකාරක පන්ති කිරීමෙන් ලබා ගත් මුදල් වලින් බව මම හොඳාකාරවම දනිමි.

2001 - 2003 වකවානුවේ දී ඔහු උපකාරක පන්ති සඳහා මසකට අය කලේ රුපියල් 200ක මුදලක් බව මට මතකය. එකල වෙනත් උපකාරක පන්ති ගුරුවරුන් ඊටත් වඩා මුදල් අය කළ බවද අප හොඳින් දනිමු.

2003 වසරේදී පන්ති ගාස්තුව රුපියල් 50 කින් වැඩි කළ අතර එය ද ඔහු කිව්වේ "පුතා ටිකක් ගාන වැඩිකරන්න වුණා" යනුවෙන් ඉතා අහිංසක ලීලාවෙන් ය.

එසේ සර්රුත් ස්වර්ණිකා ටීචත් ධාර්මිකව උපයාගත් එම මුදල් වලින් තම නිවහන දෙමහල් නිවසක් ලෙස ක්‍රමානුකූලව ගොඩ නගා ගත් අතර ඔවුන්ගේ එකම පුතු තිසර සමරසිංහ වෙත දෙමාපියන් ලෙස ඉතාමත් වගකීමෙන් තම යුතුකම් ඉෂ්ට කළ බවද මම හොඳින් දනිමි.

උසස් පෙළ අවසන් වූ පසු විශ්වවිද්‍යාලයේ මගේ උපාධිය අවසන් කිරීමේ දී අවසාන වසරේ දී මා විෂයන් කිහිපයක් අසමත් වූ අතර නැවතත් මගේ මනස එක්තරා ආකාරයකට කඩා වැටෙමින් තිබුණි. ඒ වන විට මා මොරටුව ප්‍රදේශයෙන් බැහැරව මගේ පියාගේ ගම් ප්‍රදේශය වෙත පදිංචියට පැමිණි අතර ඒ වන විටත් මගේ පියා හදිසියේ මිය ගිය නිසා පවුලේ වගකීම ද කරට අරගෙන මට සියලු දේ සිදු කිරීමට සිදුවිය. එම පීඩනය නිසාම උපාධිය අවසන් වසරේ විෂයයන් අසමත් වීම නිසා මට මගේ පෙර ගුරුභවතුන් සමග කතාබහ කිරීමට ඉතාමත් දැඩි ලෙස අවශ්‍ය වී තිබුණි.

ඒ අනුව 2014 වසරේ දී මම සමරසිංහ ගුරුතුමා සහ ස්වර්ණිකා ගුරුතුමිය සොයාගිය අතර ඔවුන් දෙපළ මා ඉතාමත් ආදරයෙන් පිළිගනු ලැබීය. සියලු දේ කතාබහ කර අවසානයේ දී ඔවුන් දෙදෙනාම මගේ හිසට අත තබා ආශිර්වාද කළ අයුරු මට දැනුදු සිහියට නැගේ.

"අනිවාර්යෙන්ම පුතා මෙවර උපාධිය සමත් වෙනවාමයි. අපේ කටින් කිව්වොත් ඒ දේවල් අනිවාර්යෙන්ම හරියනවාමයි. හැබැයි පුතා ලබන අවුරුද්දෙ අපිව මුණ ගැහෙන්න එනකොට අනිවාර්යෙන්ම Graduation Photo එකක් නැතුව එන්න එපා". යනුවෙන් කිවූ අතර එය මගේ ලේ මස් ඇට නහර ඇට මිදුලු දක්වාම ගමන් කළේය. අවසානයේදී 2015 දී මම උපාධිධාරියෙකු වූ අතර මගේ උපාධි ප්‍රදානෝත්සවය ඡායාරූපයක් ඔවුන් වෙත ලබා දීමෙන් පොරොන්දුව ද ඉෂ්ට කළෙමි.

2014 දී අවසන් වරට දුටු ආදරණීය සමරසිංහ ගුරුතුමා ඉන්පසු කිහිප වතාවක්ම හෘදයාබාධයන් ට ලක් වූ බව අසන්නට ලැබුණි. අවස්ථා කීපයකදීම ඔහුව මුණගැසීමට මා උත්සාහ කළද ස්වර්ණිකා ගුරුතුමිය කාරුණිකව මා නැවැත් වුවා ය. දන්නා තරමට සර්ට තමා තුළ තිබෙන්නා වූ අසනීපය එතරම් දැනුවත් නොකිරීමට ඇය පුළුවන් තරම් උත්සාහ කළේ ඔහුගේ සිත සතුටින් තැබීමට අවශ්‍ය නිසාවෙනි.

වසර 27ක් පුරා මොරටුව වේල්ස් කුමර විදුහලේ ගුරු වෘත්තියෙන් පමණක් නොව හොකී ක්‍රීඩාව සහ රිය නියාමක ඒකකය ආරම්භ කරමින් ඒවා භාර ආචාර්යවරයා ලෙස කටයුතු කරන අතරේදී විද්‍යාලයීය බෞද්ධ සංගමය භාර ආචාර්යවරයා ලෙස ද වාර්ෂික පිරිත් පිංකම සහ ශීල සමාදාන වැඩසටහන් සංවිධානය කිරීමේදී විශාල කාර්යභාරයක් එතුමා විසින් සිදු කරන ලදී.

සියදිවි හානි කර ගන්නට ගිය ඇතැම් සිසුන්ට පවා මානසිකව ශක්තිමත් කරමින් ඉතාමත් යහපත් ජීවිත බවට හැරවූ එතුමාගෙන් ලබාගත් ආදර්ශය අනුව මම ද අද ගුරුවෘත්තියට පැමිණ සිටින අතර ඒ ගති ලක්ෂණ මා තුළ ද තබාගැනීමට මා ආදර්ශයක් කරගෙන තිබෙන්නේ ඒ නිසාවෙනි.

දරුවෙක් මානසිකව වැටුන විට ඔහුට හෝ ඇයට පුද්ගලිකව කතාකර ආත්ම ශක්තිය වර්ධනය කරන්නෙකු ලෙස එතුමා මට ඉතාමත් හොඳ පූර්වාදර්ශයක් ලබාදී ලබා දී ඇත. උපකාරක පන්තියක් කරන්නේ නම් සාධාරණ මුදලක් අය කිරීම දිගුකාලීන පැවැත්මකට මුලපුරන බවද එතුමා මට පූර්වාදර්ශයක් ලබා දී ඇත.

වසර 76ක් ආයු වළඳා 2021-06-01 දා කොළඹ ජාතික රෝහලේදී එතුමා සදහටම සමුගෙන ගිය බව දැනගන්නට ලැබුණ ද පවතින තත්වය හමුවේ එතුමාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට අපට ඉඩ හසර නැත. එවැනි ගැටලුවක් නොතිබුණා නම් අනිවාර්යෙන්ම එතුමාගේ දේහය මොරටුව වේල්ස් කුමර විදුහල ට ගෙන ගොස් ඉතාමත් ගෞරවාන්විතව අවසන් ගෞරව දැක්වීමට අවස්ථාවක් ලැබෙන බව අප හොඳින් දනිමු. කෙසේ නමුත් ජීවිතයේ අනියත බව එතුමා හොඳින් තේරුම් අරගෙන සිටි අතර ලෞකික ආශාවන් කෙරෙහි එතුමා තුළ තිබුණු ඇල්මන් ප්‍රහීණ කර තිබූ බව ද නොරහසකි.

එතුමාගෙන් ඉගෙනුම ලැබූ දසදහසක් දරු දැරියන් අද සමාජයේ ඉතාමත් හොඳ තැන්වල සිටින බව නොඅනුමානයි. ඒ අය අතර මම ද සිටින අතර එතුමාගේ ජීවිතය මගේ ජීවිතයට මම ආදර්ශයක් කරගෙන තිබේ.

එච්. ඒ. සමරසිංහ ගුරු පියාණෙනි, ඔබට නිවන් සුව!!!

38 - 4