Channel Avatar

SRIDHARA - ශ්‍රීධර @UCee7rbhwbf4GAo5BszsPb-g@youtube.com

1.8K subscribers - no pronouns :c

" සබ්බ දානං ධර්ම දානං ජිනාති " සියලු දානයන් අතරින් ධර්ම දානය


Welcoem to posts!!

in the future - u will be able to do some more stuff here,,,!! like pat catgirl- i mean um yeah... for now u can only see others's posts :c

SRIDHARA - ශ්‍රීධර
Posted 1 year ago

සුබ උදෑසනක් වේවා...!!!
අනන්ත වූ බුදුගුණ බලයෙන් රෝග බිය දුරු වේවා...!!!
කිසිවෙකුටත් කිසිදු අන්තරායක් නොම වේවා...!!!
සියළු යහපත සැලසේවා...!!!
දීර්ඝායු වේවා...!!!
හැමදෙනාටම නිදුක් නීරෝගී වාසනාවන්ත සුබ දවසක් වේවා....!!!

12 - 1

SRIDHARA - ශ්‍රීධර
Posted 1 year ago

බුදු රජාණන් වහන්සේ නමක් ලෝකයේ වැඩ හිටියත් නැතත් ලෝකයේ සාමාන්‍ය අයට වඩා නුවණ ඇති මිනිස්සු විමුක්තියක් හොයනවා...
මොකද ඒ අයට මේ ලෝකයේ යම් දුකක් තියෙන නිසා ඒකෙන් නිදහස් වෙන්න තමයි මාර්ගයක් හොයන්නෙ..

ලෝකයේ හැමෝටම දුක ගෝචර වෙනවා..
ඒත් කෙලෙස් වැඩි නිසා ඒකෙන් ගැලවෙන්න අදහසක් එන්නෙ නැහැ.. ඒකෙම ලැගගෙන ඉන්න තමයි කැමති..
ඒ අයට වඩා නුවණ ඇති අය තමයි නිදහස් වීමක් හොයන්නෙ..

කෙනෙකුට මේ දුකෙන් නිදහස් වෙන්න ඕන කියලා අවංකවම ප්‍රශ්නය එන්න ඕන.. නැත්තම් කවදාවත් එයාට දුකෙන් නිදහස් වීමකට යන්න බැහැ.. අවංක ප්‍රශ්නය නැති කෙනෙකුට එන්න දුකෙන් නිදහස් වෙන්න යමු කියලා වැඩක් නැහැ.. ඒ කෙනා එහෙම ආවත් වැඩක් නැහැ , මොකද එයාට අවංක ප්‍රශ්නය නැති නිසා ඒකටම කැප වෙන්න බැහැ..

අද සමාජෙ තියෙන්නෙත් ඔන්න ඔය ප්‍රශ්නයම තමයි...
දුකෙන් නිදහස් වෙන්න ඕන කියලා තමන්ට අවංක ප්‍රශ්නයක් ඇවිත් නැහැ...

බුදු රජාණන් වහන්සේ දේශනා කළා සසර දුකක් , සතර අපායෙ යනවා , දුක් විඳින්න වෙනවා , අනන්ත සසර ගමනක අපි දුක් විඳිමින් ආවා , තවත් ඉස්සරහට යනවා කියලා දේශනා කළා.. ඒකෙන් නිදහස් වෙන්න බුදු රජාණන් වහන්සේ ධර්මය දේශනා කළා කියලා කියනවා... අන්න ඒක අහලා බය නිසා බුද්ධ ධර්මය අවබෝධ කරගෙන නිවන් දකින්න යනවා.. ඔන්න ඔහොම එකක් තමයි අද තියෙන්නෙ..
තමන්ට අවංක ප්‍රශ්නයක් නැහැ , බුදු රජාණන් වහන්සේ දේශනා කරපු නිසා ඒක කරගන්න යනවා..

මේක ලොකු වංචාවක් විතරයි..
කවදාවත් බුද්ධ ධර්මය අවබෝධ කරගන්න වෙන්නෙ නැහැ..
ඒ බව මුලින්ම තේරුම් ගන්න ඕන..
ඔක්කොටම කලින් තමන්ට අවංකව මේ ප්‍රශ්නය එන විදිහට කටයුතු කරන්න..
ඒක තමයි මුල..
ප්‍රශ්නය ආවොත් අන්න ඒ කෙනාට මේ වෙනුවෙන් කැප වෙලා වීර්ය කරලා නිවන් දකින්න පුළුවන්..

කොහොමද ප්‍රශ්නය එන විදිහට කටයුතු කරන්නෙ..??

ලෝකය දිහා බලද්දී තමන් මේ ජීවිතය ගෙවන් යද්දී තමයි මේ ප්‍රශ්නය එන්න ඕන..
තව කෙනෙක් තමන්ට මේක කියලා වැඩක් නැහැ , මොකද එතකොට අවංක ප්‍රශ්නය එන්නෙ නැහැ..

අපි ජීවත් වෙද්දි මිනිස්සු ලෙඩ වෙනවා , මැරෙනවා , ජරාවට පත් වෙනවා මහලු වෙනවා පේනවා , මටත් දවසක වෙන්නෙ මේ දෙයම බව මේවා දකිද්දී හිතෙන්න ඕන.. තව කෙනෙක් කියලා වැඩක් නැහැ..
නිරායාසයෙන් ඒක එන්න ඕන..

අපි ජීවත් වෙද්දි අපිට තියෙනවා ප්‍රිය මදුර දේවල්.. මොනාහරි ද්‍රව්‍ය වස්තු වෙන්න පුළුවන් , නැත්තම් පුද්ගලයො..
අපි මේ හැමදේටම ඇලිලා ඉන්නෙ.. ඒවට මොනාහරි වෙන්න යද්දී අපිට ගැටීම එනවා.. ඔය විදිහට ඇලීම ගැටීම එක්ක තමයි ජීවිතය ගෙවෙන්නෙ..

සියල්ල නැති වෙලා යන එක ලෝක ස්වභාවය.. ඉතින් අපි කැමති වුන සියල්ල දවසක නැති වෙනවාමයි.. අන්න එදාට අපිට දුකක් එනවා.. අපි ගොඩක් දුක් වෙනවා , හඬා වැලපෙනවා..

මිනිස්සු මේ දුක් ගොඩේම ඇලෙමින් ගැටෙමින් ජීවත් වෙනවා.. කොච්චර දුක් වින්දත් මේක දුකක් බව නම් දකින්නෙ නැහැ... මොකද මේ දේවල් වල යම් ආශ්වාදයක් තියෙනවා.. ඒකට ඇලුනම ඔක්කොම අමතක වෙනවා.. කොහොම හරි ඒ ආශ්වාදය නැවත නැවත ලබාගන්න උත්සාහ කරන එක තමයි කරන්නෙ.. ඕක තමයි ජීවත් වෙනවා කියලා මැරෙනකම්ම කරන්නෙ..

ඔය මිනිස්සු අතරෙම නුවණ ඇති අයට හිතෙනවා මෙන්න මෙහෙම.. ඒ ටික මම පහතින් ලියන්නම්..
ඒක කවුරු වත් කියලා දීලා නෙමෙයි ඒ අයට නිරායාසයෙන් ඒක එන්නෙ..

මේ ලෝකයේ අපි කැමති ප්‍රිය මදුර දේවල් තියෙනවා , ඒවයෙ ආශ්වාදයක් තියෙනවා , ඒ නිසාම අපි ඒවට ඇලෙනවා.. සියල්ල නැති වෙන එක ලෝක ස්වභාවය නිසා අපේ ප්‍රිය මදුර දේවලුත් නැති වෙනවා.. ඒ නිසා අපිට දුක එනවා.. සුලු මොහොතකට ඇලීගෙන ආශ්වාදයක් වින්දත් ආදීනවය මහා ගොඩයි.. ඒ නිසා මේ සියල්ල අසාරයි.. කිසිම හරයක් නැහැ..

මේ ආශ්වාදය මට කැමති සේ පවතින්නෙ නැහැ , මගේ වසඟයේ පවතින්නෙ නැහැ , මේ ලෝකය මට කැමති සේ නැහැ... මේ පංච කාමයේ ආශ්වාදය හොයාගෙන ඒ පසුපස යන එකෙන් ඇති වෙන්නෙ වෙහෙසක් විතරයි.. කවදාවත් සැනසීමක් නම් නැහැ... අවසානය දුකක් හඬා වැලපීමක් විතරයි.. මේ වගේ හරයක් නැති අසාර දේවල් පස්සෙ මොකට යනවද.. මේවයෙන් මිදෙන එකමයි සැපය..
සියලු දෙයට නොඇලී සිටිමයි සැපය..

මෙන්න මේ විදිහට නුවණ ඇති කෙනාට නිරායාසයෙන් හිතෙනවා.. කවුරු වත් කියලා දීලා එහෙම නෙමෙයි.. අන්න ඒ අය ගිහි ගෙයින් නික්මිලා විමුක්තියක් හොයන්න යනවා.. එහෙම ගිහින් තමයි ධ්‍යාන වඩලා අභිඤ්ඤාව ලබා ගන්නෙ.. ඒකෙන් හිත නිවෙන නිසා නිවන කියලා රැවටෙනවා.. ඒ තමයි ඒ අයගෙ නිවන..

ඒ මිනිස්සුන්ට නිරායාසයෙන් ඒ ආපු සිතුවිලි අද සමාජෙ මිනිස්සුන්ට එනවද..?? තම තමන් අවංකවම හිතලා බලන්න..
ඔය ටික අද බණ වලට ගොඩක් අහන්න ලැබෙනවා..තමන්ට නිරායාසයෙන් හිතෙන්න තරම් නුවණ නැතත් එහෙම ඇහෙද්දි හරි තේරුම් ගියාද..?? ඒත් නැහැ

බලන්න ඉතින් නුවණ කොච්චර පිරිහිලාද..
ඔන්න ඔය මට්ටම තේරුම් ගිය කෙනාට තමයි මම කලින් කියපු අවංක ප්‍රශ්නය එන්නෙ..

අද මිනිස්සුන්ට මේ ටික වත් තේරුම් ගන්න නුවණ මදි..
සමහර ස්වාමීන් වහන්සේලා මේ ට්ක ගොඩක් හොඳට විස්තර කරලා තියෙනවා..
මිනිස්සුන්ට මේවා හරි ලොකු දේවල්.. මොකද මේ මට්ටම නිරායාසයෙන් තේරුම් ගන්න තරම් නුවණ නැහැ.. ඒ නිසා මේවා ඇහෙද්දි මේ බුදු බණ කියලා හිතනවා..

මේවා බුදු බණ නෙමෙයි , මේවා ලෝකයේ නුවණ ඇති කෙනෙකුට නිරායාසයෙන් හිතෙන දේවල්.. බෝසතාණන් වහන්සේට නිරායාසයෙන් හිතුන නිසා තමයි ගිහි ගෙයින් නික්මෙන්නෙ.. අන්න ඒ නුවණ ඇති බව..

අද මේ මට්ටම දේශනා කරන ස්වාමීන් වහන්සේලට මිනිස්සු රහතන් වහන්සේලා කියන්න තරම් පහත් මට්ටමට වැටිලා ඉවරයි.. මොකද මිනිස්සුන්ට ඒ තරම් නුවණ නැහැ.. හොඳින් තේරුම් ගන්න මේවා බුද්ධ ධර්මය නෙමෙයි , මේවා ලෝකයේ කෙනෙකුට නිරායාසයෙන් දැනෙන්න ඕන දේවල්..මේවා තේරුම් අරන් මේ බුද්ධ ධර්මයයි කියලා රැවටුනොත් එතනින් එහාට ගමන ඉවරයි.. ඒකත් මුලා වීමක්.. මේවා බුද්ධ ධර්මය කියලා හිතාගෙන ඉන්න අයත් ඉන්නවා.. ඒකයි එහෙම කිව්වෙ..

මෙන්න මේ කිව්ව විදිහට කෙනෙකුට හිතුනා නම් එයාට ජීවිතයේ වෙන දෙයක් නැහැ , මේවයෙන් නිදහස් වෙන ක්‍රමයක් විතරයි හොයන්නෙ..
ඔන්න ඔහොම මිනිස්සු හිටපු සමාජෙට තමයි බුදු රජාණන් වහන්සේ පහල වෙන්නෙ.. ඒකයි ඒ අයට අහපු ගමන් ධර්මය අවබෝධ වුනේ..

මේ මට්ටම වත් තේරුම් ගන්න නුවණ නැහැ කියන්නෙ බුද්ධ ධර්මය කොහොම නම් අවබෝධ කරගන්නද...?? මුලින්ම තේරුම් ගන්න ඕන ඒක

බුද්ධ ධර්මය අවබෝධ කරගන්න හදිස්සි වෙලා වැඩක් නැහැ , මේ මුල හරියට හදාගන්න.. මුල නැතුව ඉස්සරහට යන්න බැහැ... කලින් කිව්ව විදිහට තමන්ට අවංක ප්‍රශ්නයක් එන විදිහට කටයුතු කරලා ඒ ප්‍රශ්නය ඇති කරගන්න..

අද ඉන්නෙ ප්‍රශ්නය නැතුව නිවන් දකින්න යන අය.. එහෙම කෙනෙක් වෙන්න එපා.. මුලින් ප්‍රශ්නය හදාගන්න..
ප්‍රශ්නය ආවම සිල් රැකීම , භාවනා කිරීම , සිහිය දියුණු කිරීම වගේ දේවල් අමාරු නැහැ.. ප්‍රශ්නය නැතුව ඒව කරද්දී තමයි අමාරු..

දැන් මිනිස්සුන්ට අවංක ප්‍රශ්නය තමයි පංච කාමය පසුපස යෑම.. ඉතින් ඒ වෙනුවෙන් ජීවිතය කැප කරනවා..

කවදා හරි මම මේ කියපු ප්‍රශ්නය ආවා නම් එයා පංච කාමයෙන් මිදිලා විමුක්තියක් හොයන්න කැප වෙනවා.. ජීවිතයේ මුල් තැන දීලා ඒ වෙනුවෙන් කැප වෙන්න පුළුවන් අවංක දෙයකට විතරයි..
පංච කාමය පසුපස යන්න අවංක උනත් , විමුක්තියක් හොයන්න අවංක උනත් වෙන්නෙ ඒක..

ඒ නිසා අවංක ප්‍රශ්නය ඇති කරගන්න..
ඒක නැතුව බුද්ධ ධර්මය අවබෝධ කරගන්න කියලා කරන ඔක්කොම හිස් දේවල් වෙනවා..

බුදු රජාණන් වහන්සේ ධර්මය දේශනා කළේ අවංකවම විමුක්තියක් හොයපු අයට.. ඒ නිසා ඔබත් අවංක කෙනෙක් වෙන්න..

බෝසතාණන් වහන්සේටත් ඔය ප්‍රශ්නය අවංකවම ආපු නිසයි විමුක්තියක් හෙව්වෙ.. කොච්චර දුක් වින්දත් උත්සාහය අතහැරියේ නැහැ... මොකද ප්‍රශ්නය අවංක නිසා අනිවාර්යයෙන් උත්තර හොයන්න ඕන.. අපෝ මේවා කරන්න බැහැ කියලා අතහැරියේ නැහැ... එහෙම අතහරින්නෙ අවංකවම ප්‍රශ්නයක් නැති අය.. ප්‍රශ්නය අවංකව ආවා කියන්නෙ එයාට ජීවිතයේ තියෙන්නෙ ඒකට උත්තර සෙවීම විතරයි , කරන්න වෙන මුකුත් නැහැ..

බලන්න මේ අවංක ප්‍රශ්නය එන එකේ වටිනාකම.. මේ දේවල් තේරුම් ගන්න.. මේ හැමෝටම අවංක ප්‍රශ්නය හදාගන්න කියන්නෙ ඒකයි.. ඒක නැතුව මුකුත් කරන්න බැහැ...

එහෙම අය තමයි පස්සෙ නිවන් දකින්න බැරියැ කියන්නෙ , අපිට වැඩ තියෙනවා නෙ ඕවට දැන්ම වෙලාවක් නැහැ කියනවා , එක්කො දරුවන්ගෙ වැඩ , නැත්තම් ජීවිතයේ මොනාහරි ඉලක්කයකට ගිහින් ඊට පස්සෙ කරන්න ඉන්නවා , මේ විදිහට මොනාහරි කියලා දැන්ම බැහැ කියලා කල් දාන්නෙ අවංක ප්‍රශ්නයක් ආපු නැති අය.. අද ඉතින් ඉන්නෙ එහෙම අයම තමයි..

ඒ විදිහට ඉන්න එපා කියලයි මේ කියන්නෙ..
ඒ බවත් තේරුම් ගන්න..
නිවන් දැකීම කෙසේවෙතත් මේ අවංක ප්‍රශ්නය හදාගෙන විමුක්තිකාමී චින්තනය මේ ජීවිතය තුල ඇති කරගන්න උත්සාහ කරන්න.. බුද්ධ ධර්මය අවබෝධ වීම තියෙන්නෙ ඊට ගොඩක් එහා... ඒ නිසා හරියට මුල හදාගන්න...

බුද්ධ සාසනය ලොව තිබ්බත් නැතත් විමුක්තිකාමි චින්තනය ඇති වුන අය ගිහි ගෙයින් නික්මිලා පැවිදි වෙනවා..
අද බුද්ධ සාසනය තිබිලා ගිහි අයටත් ඒක නැහැ..
පැවිදි කියලා ඉන්න අයගෙනුත් 1%ක් වත් එහෙම නැහැ..
ඒ නිසා බුද්ධ ධර්මයෙන් හරි ප්‍රයෝජනය අරගන්න බැරි වෙලා තියෙනවා..

බුද්ධ ධර්මය කියන්නෙ සක්කාය නිරෝධ ධර්මයක්.. ඒ කියන්නෙ මම කියන පුද්ගල ස්වභාවය ඉක්මවලා යෑමක් , ලෝකයෙන් එතර වීමක්..

අද වෙද්දී බුද්ධ ධර්මය කියලා එක එක දේවල් අහන්න ලැබෙනවා.. ඒ මොන දේ ඇහුවත් බුද්ධ කෘත්‍ය සිදු වෙනවද කියලා බලන්න.. බුද්ධ කෘත්‍ය තමයි ලෝකයෙන් එතර වීම.. මම කියන පුද්ගලත්වය දුරු වීම.. අහන මිනිස්සුන්ටත් , දේශනා කරන කෙනාටත් නුවණ මදි නිසා තමයි අද මේ බුද්ධ ධර්මය එක එක විදිහට ඇහෙන්නෙ..

හැම තැනම තියෙන්නෙ මෙන්න මේක බුද්ධ ධර්මය කියලා තේරුම් කිරීමක් විතරයි.. දේශකයා අහන අයට බුද්ධ ධර්මය නිරවුල්ව කියලා දෙනවා.. ඔන්න ඔහොම එකක් තමයි තියෙන්නෙ.. මිනිස්සුත් ඔක්කොටම හොඳට තේරුම් ගන්නවා.. බුද්ධ ධර්මය කියන්නෙ ඔහොම එකක් නෙමෙයි.. ත්‍රිපිටකයේ වචන ටික නිරවුල් කරගන්න එක නෙමෙයි බුද්ධ ධර්මය..

අනිත්‍ය දුක අනාත්ම , පංචඋපාදානස්කන්ධය , පටිච්ච සමුප්පාදය , සතර මහා ධාතු , සතර සතිපට්ටානය , ආර්‍ය අෂ්ටාංගික මාර්ගය , බොජ්ජංග කියන්නෙ මෙන්න මේවා කියලා නිරවුල්ව දැනගන්න එක නෙමෙයි බුද්ධ ධර්මය.. අද මේවා දැනගත්තු පිරිසක් විතරයි ඉන්නෙ.. ඒ බුද්ධ කෘත්‍ය නෙමෙයි..

ලෝකය තුල අවංකව විමුක්තියක් හොයන්න ඕන කියලා ප්‍රශ්නයක් එන්න තරම් වත් නුවණ නැහැ කියන්නෙ සක්කාය නිරෝධයක් අහලකට වත් එන්න බැහැ.. ඒකයි ඇත්ත..

ගිහි පැවිදි කවුරුත් හරියට මුල හදාගන්න ඕන වෙනවා..
ඒ වෙනුවෙන් පොඩි දිරිමත් කිරීමක් තමයි මම මේ කළේ..

තෙරුවන් සරණයි.....!!!

13 - 5

SRIDHARA - ශ්‍රීධර
Posted 1 year ago

අද සමාජෙ මිය ගිය සියලු දෙනාටම නිවන් සුව ලැබේවා කියලා කියන්න පුරුදු වෙලා ඉන්නවා.. මිනිස්සුන්ට විතරක් නෙමෙයි තිරිසන් සත්තුන්ටත් කියනවා..

හැබැයි ජීවත් වෙලා ඉන්න කෙනෙකුට නිවන් සුව ලැබේවා කිව්වොත් කේන්ති එනවා.. මොකද නිවන් සුව කියන්නෙ මිය යන්න ප්‍රාර්ථනා කිරීමක් විදිහට තමයි මිනිස්සුන්ගෙ මනසට ගිහින් තියෙන්නෙ..

මේවට මිනිස්සුන්ට දොස් කියලා වැඩක් නැහැ , මොකද මේ නොදන්නකම නිසා කියන දෙයක්..

ඇත්තටම නිවන් සුව කියන්නෙ මොකක්ද..??
මිය ගියාම ලැබෙන එකක්ද..?? නැහැ

නිවන් දැක්කා නම් ආයෙ මිය යන්නෙ නැහැ.. ජරා මරණය ඉක්මවීම තමයි නිවන..
අජරාමර කියන්නෙ ඒකයි..

ජීවත් වෙලා ඉන්නකොට තමයි ජරා මරණය ඉක්මවන්න පුළුවන් වෙන්නෙ.. ඒක නොදන්නකම නිසයි මිනිස්සු මැරුණ අයට නිවන් සුව ලැබේවා කියන්නෙ..
ඔබත් එහෙම කියන කෙනෙක් නම් ඒ වරද ආයෙත් කරන්න එපා..

නිවන් දකින්න කරන්න ඕන දේ බුදු රජාණන් වහන්සේ දේශනා කළා.. අන්න ඒ ධර්මය අවබෝධ කරගන්න උත්සාහ කරන්න.. එදාට ඔබටත් නිවන් සුවය ලැබේවි..

නිවන් සුව කෙනෙකුට තව කෙනෙක් ප්‍රාර්ථනා කරලා ලබාගන්න බැහැ..
ප්‍රඥාවන්ත කෙනා විතරයි නිවන් දකින්නෙ..

පුද්ගලත්වය තියෙනකම් ඉපදීම ලෙඩවීම මරණය සිදු වෙනවා.. ඒක නවත්තන්න බැහැ...

පුද්ගලත්වය ඉක්මවලා ගියොත් යලි උපදින්න පුද්ගලයෙක් නැහැ , ලෙඩ වෙන්න මැරෙන්න පුද්ගලයෙක් නැහැ.. ඒ තමයි ජරා මරණය ඉක්මවූ නිවන..

තෙරුවන් සරණයි...!!!

6 - 0

SRIDHARA - ශ්‍රීධර
Posted 1 year ago

ඇස අනිත්‍යයි කියලා බුදු රජාණන් වහන්සේ දේශනා කළා...
මේක දේශනා කළේ බුදු රජාණන් වහන්සේ විතරයිද..?? නැහැ

එදා සමාජෙ හිටපු විමුක්තියක් හොයපු ගොඩක් අයගෙ ධර්මය තුලත් මේ ඇස අනිත්‍යයි කියලා දේශනා උනා..
බැලූ බැල්මට වචන එක සමානයි..
ඒ කියන්නෙ බුද්ධ ධර්මයයි එදා සමාජෙ විමුක්තියක් හොයපු අයගෙ ධර්මයයි එකක්ද..?? ඒත් නැහැ

බුදු රජාණන් වහන්සේ ධර්මය දේශනා කරන්න කියලා අලුතෙන් වචන හැදුවේ නැහැ , එදා විමුක්තියක් හොයපු අයගෙ වචන ටිකම තමයි බුදු රජාණන් වහන්සේ භාවිතා කළේ.. මොකද බුදු රජාණන් වහන්සේ ධර්මය දේශනා කළේ විමුක්තියක් හොයපු අයට... ඒකයි ඒ අයගෙම වචන ටික දේශනා කළේ..

ඇස අනිත්‍යයි කිව්වම වචන ටික සමාන උනත් බුද්ධ ධර්මයේ හා අනිත් අයගෙ ධර්මයේ අර්ථය අහසට පොලව වගේ වෙනස්..

ඇස අනිත්‍යයි කිව්වම මේ නලලට පහලින් තියෙන දෙක ජරාවට පත් වීම , නොපෙනී යාම , රෝග වලට ගොදුරු වීම , කුණු වීම කියලා එක අර්ථයක් තියෙනවා..

ඇස අනිත්‍යයි කියද්දි මේ ඇසෙන් බලන රූප මොහොතක් පාසා වෙනස් වෙන නිසා කියලා එක අර්ථයක් තියෙනවා..

මේ නලලට පහලින් තියෙන දෙක සතර මහා ධාතු වලින් හැදිලා තියෙන්නෙ , ශුද්ධාෂ්ඨක ගොඩක් , රූප කලාප ගොඩක් , ඒ නිසා ක්ෂණයක් පාසා වෙනස් වෙනව කියලා එක අර්ථයක් තියෙනවා..

ඇස කැමති සේ නැති නිසා , වසඟයේ පවතින්නෙ නැති නිසා අනිත්‍යයි කියලා කියනවා..

මේ විදිහට ඇස අනිත්‍යයි කියලා ලෝකයේ අර්ථ ගොඩක් තියෙනවා..
අද ඉන්න මිනිස්සු උනත් මේ ටික තමයි දන්නෙ.. ඒ බුද්ධ ධර්මය කියලා හිතාගෙන ඉන්නවා.. ඒක වැරදි

බුදු රජාණන් වහන්සේ දේශනා කළේ මෙහෙම ලෝකයේ අර්ථයක් නෙමෙයි.. ඒකයි බුද්ධ ධර්මයේ වෙනස.. ලෝකයේ අයගෙ අර්ථය දැනගත්තා කියලා මුකුත් වෙනසක් ඇති වෙන්නෙ නැහැ.. දැනුමක් තියෙනවා , එච්චරයි..

බුදු රජාණන් වහන්සේ දේශනා කරපු අනිත්‍ය දැක්කා නම් නිවන් මගට එනවා.. ඒ කියන්නෙ ආර්‍ය අෂ්ටාංගික මාර්ගය , එහෙම නැත්තම් සතර සතිපට්ටානය.. ලෝකයේ එක දැක්කා කියලා එහෙම වෙන්නෙ නැහැ..

තව දෙයක් තමයි බුදු රජාණන් වහන්සේ අනිත්‍යයි කියලා දකින්න කියන්නෙ ප්‍රඥාවෙන්.. ප්‍රඥාව කියන්නෙ මේ මස් ඇහැට පේන එකක් වත් හිතට හිතෙන එකක් වත් නෙමෙයි..

කලින් කියපු ලෝකයේ අර්ථ ඔක්කොම ඇහැට පේනවා , නැත්තම් හිතට හිතෙනවා.. ඒ කියන්නෙ ඒවා බුද්ධ ධර්මය නෙමෙයි..

බුද්ධ ධර්මයේ අනිත්‍ය කවදාවත් හිතට හිතෙන්න බැහැ , මස් ඇසට පේන්න බැහැ , මොකද ඇහැට පේනවා හිතට හිතෙනවා කියන්නෙ ආයෙත් ලෝකය අරමුණු වුනා කියන එක..

බුද්ධ ධර්මය ලෝකෝත්තරයි.. අනිත්‍යයි කියලා දැක්කා නම් ලෝකයෙන් එතර වෙන මාර්ගයටයි එන්නෙ..

මේක කියන්න හිතුනෙ අද ගොඩක් අය අනිත්‍යයි කියලා මොනාහරි හිතන්න පුරුදු වෙලා ඉන්නව , එහෙම නැත්තම් ඇහැට පේන එක බල බල හිතනවා.. මේවා බුද්ධ ධර්මය නෙමෙයි කියන්නයි ඕන උනේ..

ලෝකයේ අනිත්‍යයි කියලා කතා කරන්නෙ පෙර පැවතුන දෙයක නැති වීම.. එහෙම නැත්තම් කැමති සේ නැති බව හරි වසඟයේ පවතින්නෙ නැති බව.. මේ කොහොම කිව්වත් කතා කරන්නෙ ඇති දෙයක් ගැනමයි.. ඒ කියන්නෙ ඇත අන්තය..

බුදු රජාණන් වහන්සේ ඇත අන්තයෙන් ධර්මය දේශනා කළේ නැහැ , නැත අන්තයෙන් දේශනා කළෙත් නැහැ.. ලෝකයේ අය ඇස අනිත්‍යයි කියන්නෙ පුද්ගලයෙකුට තියෙන ඇසක්.. බුදු රජාණන් වහන්සේ ඇසක් ඇති පුද්ගලයෙක් ඉන්නවා කියන තැනින් ධර්මය දේශනා කළේ නැහැ..

ඉපදීම මරණය වත් පුද්ගලයෙක් ඈඳලා කතා කරේ නැහැ , තණ්හාව උපාදානය , අවිද්‍යාව , විඤ්ඤාණය මේ එකක් වත් පුද්ගලයෙකුට තියෙනවා කියන තැනින් දේශනා කළේ නැහැ..

ඒත් අද බුද්ධ ධර්මය කියලා ධර්මය දේශනා කරන අය මේ ඔක්කොම දේශනා කරන්නෙ පුද්ගලයෙක් ඈඳලා.. ඒකයි ලොකුම වරද

ඔක්කොම පුද්ගලයෙක් ඈඳලා කතා කරද්දී ඒවා අහන මිනිස්සු ඒ ඇහෙන එක අවබෝධ කරගෙන නිවන් දකින්න යනවා.. බුදු රජාණන් වහන්සේ දේශනා කළේ පුද්ගලත්වය ඉක්මවලා යන දහමක්... ඒත් දැන් ඉන්න පුද්ගලයම ඒක තේරුම් ගන්න යද්දී බුද්ධ ධර්මය තුලින් වෙන්න ඕන දේ වෙන්නෙ නැහැ..

මේ අඩුපාඩු හදාගෙන ධර්මය දේශනා නොකරනතාක් , නොඅසනතාක් බුද්ධ ධර්මයක් අවබෝධ වෙන්නෙ නැහැ.. ලෝකයේ තිබෙන අර්ථ ටික අවබෝධ වෙනවා.. එච්චරයි

ඒ නිසා මේ අඩුපාඩු හදාගෙන ඉස්සරහට යන්න ඕන..

තෙරුවන් සරණයි..!!!

4 - 2

SRIDHARA - ශ්‍රීධර
Posted 1 year ago

සුබ උදෑසනක් වේවා...!!!
අනන්ත වූ බුදුගුණ බලයෙන් රෝග බිය දුරු වේවා...!!!
කිසිවෙකුටත් කිසිදු අන්තරායක් නොම වේවා...!!!
සියලු දුක්දුරු වේවා...!!!
සියළු යහපත සැලසේවා...!!!
දීර්ඝායු වේවා...!!!
හැමදෙනාටම නිදුක් නීරෝගී වාසනාවන්ත සුබ දවසක් වේවා...!!

21 - 1

SRIDHARA - ශ්‍රීධර
Posted 1 year ago

"එක ධම‍්මං භික‍්ඛවෙ පජහථ අහං වො පාටිභොගො අනාගාමිතාය. කතමං එකධම‍්මං? ලොභං භික‍්ඛවෙ එකධම‍්මං පජහථ අහං වො පාටිභොගො අනාගාමිතායා’ති."

මහණෙනි, එක් සංක්ලේශ ධර්‍මයක් පහ කරවු. (එසේ ඇති කල්හි) මම තොපට අනාගාමිභාවය පිණිස ඇප වෙමි. කවර එක් ධර්‍මයක් ද යත්: මහණෙනි, ලෝභ (කාමරාගය) නම් වූ එක ම සංක්ලේශ ධර්‍මය පහ කරවු.(එසේ ඇති කල්හි) මම තොපට අනාගාමිභාවය පිණිස ඇප වෙමි.

"යෙන ලොභෙන ලුද්‍ධා සෙ සත‍්තා ගච‍්ඡන‍්ති දුග‍්ගතිං,
තං ලොභං සම‍්මදඤ‍්ඤාය පජහන‍්ති විපස‍්සිනො,
පහාය න පුනායන‍්ති ඉමං ලොකං කුදාචන”න‍්ති."

යම් ලෝභයෙකින් ඇලුනා වු සත්ත්‍වයෝ දුගතියට යෙද්ද, විදර්‍ශනා ඥානයෙන් බලන්නාහු ඒ ලෝභය සම්‍යක් ප්‍රඥාවෙන් දැන සහමුලින් පහ කෙරෙත්. ලෝභය පහ කළාහු කිසි කලෙකත් මේ ලෝකයට පෙරළා නො එත්.

මෙහි ප්‍රහාණය නම් ,

◾තදංගප්පහාණ
◾වික්ඛම්භනප්පහාණ
◾සමුච්ඡේදප්පහාණ
◾පටිප්පස්සද්ධිපහාණ
◾නිස්සරණප්පහාණ

යනුවෙන් පස් ආකාර වෙයි.

🔴 එහි පහන් ආලෝකයෙන් මෙන් අඳුරට ප්‍රතිවිරුද්ධ බැවින් අලෝභාදියෙන් ලෝභාදී වූත්, නාමරූප පරිච්ඡේදා දී විදර්ශනා ඥානයෙන් ඒ ඒ අනර්ථයේ යම් ප්‍රහාණයක් වේද ඒ කෙසේද යත්: පරිත්‍යාගයෙන් ලෝභාදි කිලුටෙහි ද සීලයෙන් ප්‍රාණඝාත ආදී දුශ්ශීල බවෙහි ද ශ්‍රද්ධාදියෙන් අශ්‍රද්ධාදියේ ද නාමරූප වෙන් කිරීමෙන් සක්කාය දිට්ඨියේ ද ප්‍රත්‍ය පරිග්‍රහණයෙන් (විමසීමෙන්) අහේතු විසම හේතු දෘෂ්ටීන්ගේ ද එයට පසුකාලයේදී කංඛාවිතරණයෙන් සැක ඇති බවේ ද කලාප විමසා බැලීමෙන් මම ය මගේය යන ගැනීමේ ද මග්ගාමග්ග (මග-නොමග) වෙන් කිරීමෙන් අමාර්ගයෙහි මාර්ග සංඥාවද උදය (හටගැනීම) දැකීමෙන් උච්ඡේද දෘෂ්ටියේද වය (නැතිවීම) දැකීමෙන් ශාස්වත දෘෂ්ටියේ ද භය දැකීමෙන් භය සහිත දේවල් කෙරෙහි අභය සංඥාවේද ආදීනව දැකීමෙන් ආශ්වාද සංඥාවේ ද නිබ්බිදානුපස්සනාවෙන් (කලකිරිම අනුව දැකීමෙන්) ඇලීම් සංඥාවේ ද මුඤ්චිතුකම්‍යතා (මිදෙනු කැමති) ඤාණයෙන් නොමිදෙනු කැමති ඤාණයේ ද උපෙක්ඛා ඤාණයෙන් අනුපෙක්ඛාවේද අනුලෝමයෙන් ධම්මට්ඨිතියේ ද නිවනින් ප්‍රතිලෝම භාවයේ ද ගෝත්‍රභූ ඥානයෙන් සංඛාර නිමිති ගැනීමේ දී ප්‍රහාණය මේ තදංගප්‍රහාණය නම් වේ.

🔴උපචාර අර්පණා ප්‍රභේද ඇති සමාධියෙන් පවතින බව වැළැක්වීම් වශයෙන් කළගෙඩි පහරින් ජලය මතුපිට සෙවෙල ඉවත් වන්නාක් මෙන් ඒ ඒ නීවරණාදී ධර්මයන්ගේ යම් ප්‍රහාණයක් වේද මෙය විෂ්කම්භන ප්‍රහාණය නම් වේ.

🔴සතර ආර්ය මාර්ග භාවිත කළ බැවින් ඒ ඒ මාර්ගයෙන් ‘අත්තනො සන්තානෙ දිට්ඨිගතානං පහාණාය’ ‘තමාගේ සිතේ දෘෂ්ටීන්ගේ ප්‍රහාණය පිණිස’ යනාදී ක්‍රමයෙන් කියන ලද සමුදය පක්‍ෂයට අයත් කෙලෙස් සමූහය සම්පූර්ණ වශයෙන් නොපවතින ස්වභාවයෙන් යම් සහමුලින් සිදී යාමක් වේද මෙය සමුච්ඡේද ප්‍රහාණය නම් වේ.

🔴ඵලය ලැබෙන මොහොතෙහි කෙලෙසුන්ගේ යම් සන්සිඳුණු බවක් වේද මෙය පටිප්පස්සද්ධි පහාණය නම් වේ.

🔴 සියලු සංඛතයන් ඉවත්කළ බැවින් ප්‍රහීණ වූ සියලු සංඛත ඇති යම් නිර්වාණයක් වේද මෙය නිස්සරණප්පහාණය නම් වේ.

මෙසේ පස්ආකාර වූ ප්‍රහාණයෙහි අනාගාමී ශ්‍රාවකයාගෙන් ප්‍රහාණය අදහස් කළ බැවින් මෙය සමුච්ඡේද ප්‍රහාණය යනුවෙන් දතයුතුය. එහෙයින් ‘පජහථ’ යනු දුරුකරව්. සහමුලින් නසව් යන අර්ථයි.

මෙහි ‘ලොභං පජහථ’ යන මෙයින් පහාණ පරිඤ්ඤාව කියන ලදී. එය (පහාණ පරිඤ්ඤාව) ද තීරණ පරිඤ්ඤාවට ආසන්න කාරණයයි. තීරණ පරිඤ්ඤාව ඤාත පරිඤ්ඤාවට ආසන්න කාරණය යි. මෙසේ වෙන් නොවීම් වශයෙන් පරිඤ්ඤා තුනම අවබෝධ කරන ලද්දේ වෙයි. මෙසේ මෙහි ඵලය සහිතව චතුසත්‍ය කර්මස්ථානය පරිපූර්ණ කොට ප්‍රකාශිත යයි දතයුතුය. නැතහොත් ‘ලොභං පජහථ’ යන මෙයින් ඵලය සහිත ඤාණදස්සන විසුද්ධිය දේශනා කරන ලදී. එය ද පටිපදා ඤාණ දස්සන විසුද්ධිය ආශ්‍රයෙන් ද -පෙ- චිත්ත විසුද්ධි, සීල විසුද්ධි ආශ්‍රයෙන් ද අතරක් නැති බැවින් ඵලය සහිත සප්ත විශුද්ධි සියල්ල ප්‍රකට කරන ලදැයි දතයුතුය.

මෙසේ මේ විශුද්ධි ක්‍රම භාවනාවෙන් පරිඤ්ඤා තුන සම්පාදනයෙන් ලෝභය දුරුකරනු කැමති තැනැත්තා විසින්

අනත්‍ථ ජනනො ලොභො ලොභො චිත්තප්පකොපනො
භයමන්තරතො ජාතං තං ජනො නාවබුජ්ඣති

ලෝභය අනර්ථය උපදවන්නේය. ලෝභය සිත කලඹවන්නේය. ඇතුළත උපන්නා වූ ඒ බියට හේතුව අන්ධබාල ජනයා නොදනී.

ලුද්ධො අත්‍ථං න ජානාති - ලුද්ධො ධම්මං න පස්සති
අන්‍ධං තමං තදා හොති - යං ලොභො සහනෙ නරං

ලෝභී තැනැත්තා අර්ථය නොදනී. ලෝභී තැනැත්තා ධර්මය නොදකී.ලෝභය යම් මිනිසකු මඬියි ද එකල්හි අන්ධභාවය ඇතිකරන අඳුර වේ.

රත්තො ඛො ආවුසො රාගෙන අභිභූතො පරියාදින්න චිත්තො පාණම්පි හන්ති, අදින්නම්පි ආදියති, සන්‍ධිම්පි ඡින්‍දති, නිල්ලොපම්පි හරති, එකාගාරිකම්පි කරොති, පරිපෙන්‍ථපි තිට්ඨති, පරදාරම්පි ගච්ඡති, මුසාපි භණති, තදපි තෙසං භවතං සමණ බ්‍රාහ්මණානං ආජානතං අපස්සතං අවෙදයතං තණ්හානුගතානං පරිතසිතං විප්ඵන්‍දිතමෙව’

‘ඇවැත්නි, රාගයෙන් රත් වූ, රාගයෙන් මැඩගත්තා වූ රාගයෙන් ඇදගන්නා ලද සිත් ඇති තැනැත්තා සතුන් මරයි. නොදුන් දේ ගනියි. ගෘහසන්ධි ද සිඳියි. කොල්ලකෑම් කරයි. එක් ගෙයක් පැහැර ගැනීම ද කරයි. මංපැහැරීමද කරයි. පරඹුවන් කරා ද යයි. බොරු ද කියයි. එය ද නො දන්නා ලද නො දක්නා ලද නොවිඳිනා ලද තණ්හාවට අනුගත වූ තැති ගත් ඒ පින්වත් මහණ බමුණන්ගේ දැඟලීමකි.

තණ්හා දුතියො පුරිසො දීඝමද්‍ධාන සංසරං
ඉත්‍ථභාවඤ්ඤථාභාවං සංසාරං නාතිවත්තති

තෘෂ්ණාව දෙවෙනි කොටගත් පුරුෂයා දිගුකලක් සැරිසරනුයේ මෙලොව පරලොව නමැති සංසාරය නොඉක්මවයි.

නත්‍ථි රාගසමො අග්ගි
නත්‍ථි දොසසමො කලි

රාගය සමාන ගින්නක් නැත. ද්වේෂය සමාන අපරාධයක් නැත.

කාමරාගෙන ඩය්හාමි චිත්තං මෙ පරිඩය්හති
(මම) කාමරාගයෙන් දැවෙමි. මගේ සිත හාත්පසින් දැවෙයි.

යෙ රාගරත්තානුපතන්ති සොතං,
සයං කතං මක්කටකොව ජාලං6

යමෙක් රාගයෙන් රත්වූවාහු ද ඔවුහු තමන් විසින් කළ තෘෂ්ණා සැඬපහරට වැටෙති. මකුළුවා කළ දැලට සතුන් වැටෙන්නාක් මෙනි.

මේ ආදී සූත්‍ර පදානුසාරයෙන් නොයෙක් නොයෙක් ක්‍රමයෙන් ලෝභයේ ආදීනව (දොස්) නුවණින් සලකා බලා එය පහකිරීම පිණිස පිළිපැදිය යුතුය.

තව ද ධර්ම හයක් කාමරාගය දුරුකිරීම පිණිස පවතී. ඒ අශුභ නිමිත්ත ඉගෙනීම, අශුභ භාවනාවෙහි යෙදීම, ඉඳුරන්හි වසන ලද දොරටු ඇති බව, භෝජනයෙහි පමණ දන්නා බව, කල්‍යාණ මිත්‍රයන් ඇති බව, සුදුසු කථා යනුවෙනි. දසවිධ වූ අශුභ නිමිත්ත ඉගෙන ගන්නාගේ ද කාමරාගය දුරුවෙයි. කායගතා සති භාවනා වශයෙන් විඤ්ඤාණය සහිත අශුභයෙහි ද උද්ධුමාතක (ඉදිමුණු) ආදී වශයෙන් විඤ්ඤාණය නැති අශුභයෙහි ද අශුභ භාවනාවෙහි යෙදුනහුගේ ද මනස සයවැනි කොට ඇති ඉඳුරන්හි සංවර කිරීම් වශයෙන් සිහිය නමැති දොර පළුවෙන් වසන ලද දොරටුව ඇති තැනැත්තාගේ ද (බත්) පිඬු සතරකට හෝ පහකට හෝ ඉඩ ඇති කල්හි ජලය පානය කොට යැපෙන ස්වභාවය ඇති භෝජනයෙහි පමණ දන්නා තැනැත්තාහුගේ ද කාමරාගය දුරුවෙයි. එහෙයින් -

බත්පිඬු සතරක් පහක් නො වළඳා පැන් බොන්නේය. එය වීර්යය වඩන භික්‍ෂුවට පහසු විහරණය පිණිස සුදුසුය’යි කීහ.

අශුභ කර්මස්ථාන භාවනාවෙහි ඇලුණු කල්‍යාණ මිත්‍රයන් සේවනය කරන්නාගේ ද සිටීම, හිඳීම ආදියෙහි දස අශුභය ඇසුරුකොට ඇති සුදුසු කථාවෙන් ද (කාමරාගය) දුරුවෙයි. එහෙයින් -

‘මහණෙනි, අසුභ නිමිත්තක් ඇත. එහි නුවණින් මෙනෙහි කිරීම බහුල වශයෙන් කිරීමක් වේද මෙය නූපන් කාමච්ඡන්‍දයේ නූපදීම පිණිසත් උපන්නා වූ කාමච්ඡන්‍දයේ දුරුකිරීම පිණිසත් වේ’ යනුවෙන් කීහ.

මෙසේ පූර්ව භාගයෙහි කාමරාග සංඛ්‍යාත ලෝභයේ ප්‍රහාණය පිණිස පිළිපන් තැනැත්තා විදර්ශනාවට උනන්දු කරවා තෙවන මාර්ගයෙන්ම එය ඉතිරි නොකොට සහමුලින් සිඳ දමයි. එහෙයින් ‘ලොභං භික්‍ඛවෙ එකධම්මං පජහථ අහං වො පාටිභොගො අනාගාමිතාය’ යනුවෙන් කියන ලදී.

🔴🔴මේ කුදුගත් සඟියේ ඉතිවුත්තකපාලියේ ඒකක නිපතයේ ප්‍රථම වග්ගයේ ලෝභ සූත්‍රය සහ එහි අට්ඨකථාවයි. ඉහත සූත්‍රාන්තයෙන් ගම්‍යමාන වන්නේ භාග්‍යවතුන් වහන්සේ අකුසල මූලයක් වූ ලෝභය නැසීම සඳහා "මම තොපට අනාගාමිභාවය පිණිස ඇප වෙමි."
යන්න භික්ෂූන් වහන්සේලා සඳහා දේශනා කළ සූත්‍ර පරියායකි.

මෙයින් මොනවාට පසක් වන්නේ කෙනෙකු ප්‍රතිපදාව බැහැරකොට පිංකම් පමණක්ම කර නිවන් දැකීමට හැකි යැයි සිතා සිටිනවා නම් එයට කදිම පිළිතුරකි. ඉන් පළමුවැන්නේ කෙලෙස් ප්‍රහාණය වන ආකාරය දැක්වේ. එයින් පැහැදිලි වන්නේද ප්‍රතිපදාවයි. මෙහි ප්‍රතිපදාව ප්‍රතිපදාව යන්න අරුත් ගැන්වෙන්නේ සප්තවිශුද්ධියයි. එය ඉහත සඳහන් කොට ඇත.ශීලයෙන් අරඹා සංකාරෝපෙක්ඛා ඥාණය තෙක් විදසුන් නුවණින් කෙලෙස් ප්‍රහාණය කරන ආකාරයයි.

බුදුරජාණන් වහන්සේ කළ බණ පද දෙක තුනක් ඇසීමෙන් නිවන් දැකි උතුමෝ පෙර ජීවිත වල මේ ප්‍රතිපදාව පුරා ඇති නිසා මේ ජීවිතයේදී නිවන් සම්පත් ලැබීමට භාග්‍යසම්පන්න වූහ.

එනිසා මේ සඳහා භාවනා කළ යුතුය. සමථ විදර්ශනා භාවනා කර කෙලෙසුන් සමුච්ඡේද වශයෙන්ම ප්‍රහාණය කළ යුතුය..


සුජාතපුත්‍ර භාවනා මධ්‍යස්ථානවාසී,
Passara Maithreewansha Thero ✍️

10 - 0

SRIDHARA - ශ්‍රීධර
Posted 1 year ago

.....සූකර මද්දවය නං...
.. බොහෝ දෙනා සිතා සිටින විදිහට මේ සූකර මද්දවය කියන්නේ ඌරන්ගෙන් ගත් මස් බවයි දන්නෙ.
නමුත් මේ මාංසය පූජා කරපු චුන්දකර්මාර තුමා උසස් කුල වන්තයෙක් ..
ඒ නිසා සූකර වන් එහෙම නැත්නම් ඌරෙකු වන් පහත් සත්වයෙකුගේ මස් එකල සමාජයෙ සිටි උසස් කුල වන්තයින් විසින් ආහාරයට නොගත් බව හා ඔවුන් සිය ආහාරය පෝෂණ ගුණයෙන්ට ද මුල් තැන දී සකස් කරගත් බවත් සඳහන් වෙනවා.
ඒ අනුව ඌරු මස් දිරවීමට අපහසු නිසාත් පහත් සත්වයෙකුගෙ ආහාරයක් ලෙස සැලකූ නිසාමත් ඔවුන් එය සිය ආහාරය වෙනුවෙන් යොදා නොගන්නා බවට සැකයක් නෑ.
යම් විදිහකට සැකයක් තිබුනත්.., බුදුරජාණන් වහන්සේ වන් ශ්‍රේෂ්ඨ උත්තමයෙකුට සිය මැදුරට භෝජන සංග්‍රහයක් සඳහා ආරාධනා කර එවන් අගුණ ආහාරයක් පිළියෙල කර දීම නොකරන බව තහවුරු කරගැනීමටම පුළුවන්.
එහෙනම් මොකද? මේ සූකරමද්දවය කියන්නේ...
කුසිනාරාවේ ඒ කියන්නේ 1.වර්තමානයේ ගොරක් පූර් දිස්ත්‍රික්කයේ කැලෑ ප්‍රදේශයේ,, සූකර බන් ,, නමින් හඳුන්වන පොළොව දිගේ ඇදී යන ඌරන් විසින් හාරනු ලබන කුඩා ඉන්නල වර්ගයක් හැදෙන බව සදහන් වෙනවා වාගෙම
2. නේපාල රටෙත් සූකර මද්දවය කියාලා හදුන්වන මාළු ආහාරයක් ද පවතින බවද සදහන් වගෙම
3 සූකර ආළු යනු කලාඳුරු වලට කියන නමක් . ඒ වගේම ඒ කලාඳුරු අල යොදා හදන රසායනික ආහාර වර්ගය සූකර මද්දව ය යනුවෙන්ද ආදී ලෙස ඌරෑ මස් නොවු බොහෝ ආහාර වර්ග හඳුන්වනවා..එ වගේම ..,
** එළු රංචු ගමන් ගන්නා තැන්වල ඔවුන්ගේ අපද්‍රව්‍ය පෑගි මිශ්‍රවු අවට තැන්වල සෑදෙන හතු වලට අජ මද්දව නමින් ද
,,***ගව රංචු මඩන තැන්හි හැදුනු හතු වලට ගෝ මද්දව යන නමින්ද වියවහර කළ බවත්.එ වගෙම
, ඉහත කී ලෙසම මේ ඌරන් මඩනා ලද තැන්හි එ ආශ්‍රිතව හටගන්නා පිසු කල ප්‍රණීත වත් හතු වර්ග යක්ද මෙලෙසට සූකර මද්දවය නමින් හදුන්වා තියෙනවා.
අන්න එය විශේෂිත ආහාරයක් ලෙස බුදු පියාණන් උදෙසා සැකසූ බවයි සඳහන් අයුරින් විස්තර වන්නේ.එ අනුව...,
ඒ තමා බුදු පියාණන් විසින් වැළඳුණු සූකර මද්දව නම් ආහාරය වන්නේ.. මෙහිදී මතක තබාගත යුතු අනිත් කරුණ නම්
1 තමා වෙනුවෙන් මරණවා නොදැක්ක..
2.තමා වෙනුවෙන් මරණ ලදැයි නොඇසූ
3.තමා වෙනුවෙන් නොමැරූ බවට සැක නැති
ආහාරයට සුදුසු මාංසයක් ලදහොත් කැමති නම් එය වළඳන ලෙස හිමිවරුන්ට අනුදැන වදාල බුදුපියාණන් වහන්සේ එහි ආනිසංසද කියා දි නිර්මාංශ ආහාර ය පැසසුමට ලක් කරමින් එහිද ආනිසංස කියා පෑවේ. සිය දහම නිදහස් චින්තනයකින් වටහා ගත යුතු බව අවබෝධ කර දිමට මිස,, මාංශ ආහාරයට ගැනීම තමාද අනුමත කරන බව පෙන්වීමට නොවන බවයි.....

16 - 3

SRIDHARA - ශ්‍රීධර
Posted 1 year ago

අමූලිකා ශ්‍රද්ධා....!😥
*****************
බුදු දහමේ නියම හරය නොදන්න සමහරු...
දුක නැති කෙරුමට කියලා
කරනව වැඩ මරු....
මෙම දසුනින් පැහැදිලි වන
දේ දකිනා තුරු...
වචනෙන් කිව්වත් විශ්වාසෙට ගන්නව බොරු...

දැන් කාලෙක සිට ඇතිවී තියෙන
අලුත් එක...
ගෙන් ගෙට වැඩමවන කඨින චීවර ඇත දැක...
ඉන් ගරුත්වෙ කෙලෙසෙනවා
ඒ ගැන නැත සැක...
දන්නො දනිති, මුදල් සොයන
මගකි එයයි දුක...

දැහැමි සිතින් කරතත් එය ,
පවට වනයි අත...
ඇති හැකි අය පුරාජේරු පෙන්වන්ටනෙ සිත...
නැති බැරිවුන් ණයවී හෝ වඩම්මනව ඇත...
පෙර නොතිබුණු දෑ කෙලෙසින්
රජ වූවද මිත...

අමූලිකා ශ්‍රද්ධාවෙන් අප
අන්ධව ඇත...
සමූහ ලෙස එක්වී පව්
කෙරුමටමය සිත...
වි⁣සේසයෙන් උපාසිකා කැල
බැලුවම මිත...
ඔහේ කරනවා ඒ ගැන වගේ
වගක් නැත...

ඇසුවට බණ සාධුකාර දී
එහි පල නැත...
ඇතිකර ගමු ආකාරවතී
ශ්‍රද්ධා මිත...
සිතිවිලි ගැන විමසා මැණ බැලීම
දෙයි සෙත...
මතුවටවත් හරි දේ කෙරුවොත්
වැඩ සිදු වෙත....

දක්ෂිණි සාවිත්‍රි ප්‍රනාන්දු ද සිල්වා✍️

24 - 1

SRIDHARA - ශ්‍රීධර
Posted 1 year ago

යතිවර ගුණ ලිපි 01

පාංසුකූල චීවර

භික්ෂූන් වහන්සේ නමකට නිවන් මග සපුරා ගනු වස් ශීලය පරිපූර්ණත්වයට පත් විය යුතුය. එයින් සතර සංවර ශීලය ප්‍රධාන කොට ඇතියේය. මේ සතර සංවර ශීලය අතර ,

පාතිමොක්ඛසංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, ආජීවපාරිසුද්ධි සීලය, පච්චයසන්නිස්සිත සීලය ලෙස සීල සතරක් ඇත්තේ ය. ඒ සතර සීලයට චතුපාරිසුද්ධි සීලයයි කියනු ලැබේ. මේ සතර සීලය සාමණේර උපසම්පදා දෙපක්ෂයට ම සාධාරණය වෙනස සාමණේරයන් ගේ ප්‍රාතිමෝක්ෂ සංවර ශීලයෙහි සිකපද අඩුවීම පමණෙකි.

⚫ ප්‍රාතිමෝක්ෂ සංවර ශීලය

තථාගතයන් වහන්සේ විසින් පනවා ඇති විනය සිකපදයන් පිළිබඳ වූ ශීලය ප්‍රාතිමෝක්ෂ සංවරශීල නමි වේ . සාමණේරයන් විසින් රැකිය යුතු සිකපද සමූහය සාමණේරයන් ගේ ප්‍රාතිමෝක්ෂ සංවර ශීලය ය. උපසම්පන්නයන්ට පනවා ඇති සිකපද සමූහය උපසම්පන්නයන් ගේ ප්‍රාතිමෝක්ෂ සංවර ශීලය ය.

⚫ ඉන්ද්‍රිය සංවර ශීලය‍

චක්ඛු - සෝත - ඝාන - ජිව්හා - කාය - මන කියා රූපාදි අරමුණු ගන්නා ඉන්ද්‍රිය සතක් ඇත්තේ ය. රූප - ශබ්ද - ගන්ධ - රස - ස්ප්‍ර‍ෂ්ටව්‍ය - ධර්ම යන මේවා චක්ෂුරාදි ඉන්ද්‍රිය සයෙන් ගන්නා අරමුණු ය. සිහියෙන් යුක්ත නො වන ධර්මසංඥාවෙන් තොර ව වාසය කරන්නා වූ පුද්ගලයන්ට චක්ෂුරාදි ඉන්ද්‍රියයන්ගෙන් ගන්නා රූපාදිය සම්බන්ධයෙන් බොහෝ සෙයින් ඇති වන්නේ ඇලීම හෝ විරෝධය ය. ඇලීමය කියනුයේ ලෝභ නම් වූ අකුශල මූලය ය. විරෝධ යයි කියනුයේ ද්වේෂ නම් වූ අකුශල මූලය ය.

යම්කිසි අරමුණක් ගැන ඇලීම හෝ විරෝධය ඇති වුව හොත් එය අනුව අකුශලචිත්ත පරම්පරාවක් ම ඇති වෙයි. ඒ නිසා තමා රක්නා ප්‍රාතිමෝක්ෂ සංවර ශීලය ද බිඳී යා හැකි ය. ඉන්ද්‍රියයන් කරණ කොට ගන්නා ලද රූපාදිය සම්බන්ධයෙන් තෘෂ්ණා ද්වේෂයන් මුල් කොට ඇති අකුශලයන් ඇති නො වන පරිදි සිහියෙන් යුක්ත වීම - පරෙස්සම් වීම ඉන්ද්‍රිය සංවර ශීලය ය.

⚫ ආජීවපාරිශුද්ධි ශීලය

ගිහියන් සතුටු කොට ඔවුන්ගෙන් ප්‍ර‍ත්‍යය ලබනු පිණිස කරන, බුද්ධාදීන් විසින් පිළිකුල් කරන නො මනා ක්‍රියාවලීන් වැලකී පිඬුසිඟා ගැනීම් ආදියෙන් දැහැමින් ජීවත් වීම ආජීවපාරිශුද්ධි ශීලය ය.

සතුටු කිරීම සඳහා ගිහියන්ට යම් යම් දේ දීම, වෙදකම් කිරීම, කේන්ද්‍ර‍ය බලා පලාපල කියා දීම, අතබලා පලාපල කියා දීම, නැකැත් සාදා දීම, මන්ත්‍ර‍ගුරුකම් කිරීම රස්සාවල් සොයා දීම, ගිහියන් එනු දුටු කල්හි පෙර මඟට ගොස් පිළිගැනීම, ඔවුනට පසු ගමන් කිරීම, හිතවත්කම දක්වා චාටු බස් කීම, ඉදිරියෙහි ඉන්නා අයට ස්තුති කිරීම, නැති අයගේ අගුණ කිරීම, පමණට වඩා ගරු නම්බු දී කථා කිරීම, බොරු හැබෑ මිශ්‍ර‍ කොට කථා කිරීම, ගිහියන්ගේ දරුවන් සුරතල් කිරීම, පණිවිඩ ගෙන යෑම් ආදි ගිහියන්ගේ වැඩ කිරීම, තමාගේ ගුණ ඇඟවීම, නැති ගුණ දැක්වීම, වැඩිපුර ලැබීමට සිතා දෙන දෙය ප්‍ර‍තික්ෂේප කිරීම යනාදිය කිරීමෙන් ප්‍ර‍ත්‍යය ලබා ජීවත්වීම මිථ්‍යා ජීවිකාව බව දත යුතු ය.

⚫ ප්‍ර‍ත්‍යය සන්නිශ්‍රිත ශීලය

පිඬු සිඟා ගැනීම් ආදියෙන් දැහැමින් වුව ද ලද සිවු පසය ප්‍රයෝජනය වශයෙන් හෝ ධාතු වශයෙන් හෝ ප්‍ර‍තිකූල වශයෙන් හෝ ප්‍ර‍ත්‍යවේක්ෂා කොට පරිභෝග කරන බව ප්‍ර‍ත්‍යයසන්නිශ්‍රිත ශීලය ය.

ඉඳින් මේ සතර සංවර ශීලයට අමතරව තවත් භික්ෂුන් වහන්සේගේ ගුණ පූරණය කර ගැනීමට, තෘෂ්ණා මූලයන් උදුරා දැමීමට, මාර්ග ඵල, ධ්‍යාන ආදිය ලබා ගැනීමට තරම් සමත් "ධූතාංග" නම් තවත් ශීලයක් ඇත.

භික්ෂු සාමණේරයන් හට අප්පිච්ඡතාදි ගුණ ඇති වීම සඳහා ඔවුන්ගේ ශීලයට අතිරේක වශයෙන් පිරිය යුතු ධුතංග තෙළෙසක් ඇත්තේ ය. ධුතංග පිරීම ද පැවිද්දන් විසින් තරමක් වත් කළ යුතු ය. මුළු ජීවිත කාලයට ම කවදාවත් ධුතංගයක් පුරා නැති නම් එය පැවිදි ජීවිතයට මදිකමකි. සෑම පැවිද්දකුට ම එය එක්තරා ප්‍ර‍මාණයකින් වත් කළ හැකි ය.

සියලු ධුතාංග ලොලුප්ප විද්ධංසනය කොට ඇත්තේ ය. (ලොලුප්ප විද්ධංසනය නම් තෘෂ්ණාචාර නැති කිරීම ය.

මේ ලිපියෙන් පාංශූකූලිකා‍ංගය ගැන දක්වමි.

⬛ සෝසානිකය - කිසිවක්හු විසින් සොහොන්හි දැමූ වස්ත්‍ර‍ය.

⬛ පාපණිකය - කඩ සාප්පු ඉදිරියෙහි දැමූ හෝ වැටුණු වස්ත්‍ර‍ය.

⬛ රථියචෝලය - පින් කැමැත්තවුන් විසින් කවුළුදොරින් වීථියෙහි ලූ වස්ත්‍ර‍ය.

⬛ සංකාරචෝලය - කසළගොඩ දැමූ වස්ත්‍ර‍ය

⬛සොත්‍ථිය - ස්ත්‍රීන්ගේ ගැබ් - මල පිසදමා ඉවත ලූ වස්ත්‍ර‍ය. (ඇතැම් පින් කැමැති ස්ත්‍රීහු ධුතංගධරයන් උදෙසා ම එසේ එබඳු වස්ත්‍ර‍ ඉවත දමත්.) තිස්ස නම් ඇමතියාගේ මව සියයක් අගනා වස්ත්‍ර‍යකින් ගැබ් - මල පිසදමා පංසුකූලිකයෝ ගනිත්වා යි තාළවේලි නම් වීථියෙහි ලාලූය. භික්‍ෂූන් එය ගත්තේ දිරාගිය තන්හි අණ්ඩා දැමීමට පමණ ය.

⬛නහානචෝලය - යකැදුරන් විසින් හිස පටන් නහවන ලද්දවුන් විසින් කාලකණ්ණිකඩය යි හැරැ දැමූ වස්ත්‍ර‍ය

⬛තිත්‍ථචෝලය - නහන තොට හැරැ දමා ලූ වස්ත්‍ර‍ය.

⬛ගතපච්චාගතය - සොහොනට ගිය මිනිසුන් විසින් ජල ස්නානය කොටැ දැමූ වස්ත්‍ර‍ය.

⬛අග්ගිදඩ්ඨය - ගින්නෙන් පිලිස්සීම නිසා හැරැ දැමූ වස්ත්‍ර‍ය. (එබඳු වස්ත්‍ර‍ මිනිස්සු නො හඳිත්.)

⬛ගෝඛායිතය - හරකුන් කෑ වස්ත්‍ර‍ය.

⬛උපචිකාඛායිතය - වේයන් කෑ වස්ත්‍ර‍ය.

⬛උන්දූරඛායිතය - මීයන් කෑ වස්ත්‍ර‍ය (මේ වස්ත්‍ර‍ ද මිනිස්සු නො හඳිත්)

⬛අන්නචඡිනනය - අග කඩාගිය වස්ත්‍ර‍ය.

⬛ දසාච්ඡිනනය - දාවලු කඩාගිය වස්ත්‍ර‍ය.

⬛ ධජහටය - නැව් නගින්නවුන් විසින් බඳනා ලද ධ්වජ වස්ත්‍ර‍ය (ඔවුන් නො පෙණී ගිය කල්හි ඒ වස්ත්‍ර‍ය ගනුත් වටී. යුද්‍ධ භූමියෙහි බඳින ලද ධ්වජ වස්ත්‍ර‍ය ද දෙසෙනඟ නිකුත් වැ ගිය කල ගනුත් වටී.)

⬛ ථූපචීවරය - තුඹස්වල බලි කර්‍ම පිණිස බැඳි වස්ත්‍ර‍ය.

⬛ සමණචීවරය - භික්‍ෂූන් සතු වස්ත්‍ර‍ය.

⬛ ආභිසෙකිකය - රජුන් අභිෂේක කළ තන්හි දමා ගිය වස්ත්‍ර‍ය.

⬛ ඉද්ධිමය - ඒහි භික්‍ෂු චීවරය.

⬛ පන්ථිකය - අතර මඟ වැටුණු වස්ත්‍ර‍ය (ස්වාමීන් අතින් සිහිමුළාවෙන් වැටුණු වස්ත්‍ර‍ය ද මඳක් බලාගත යුතුයි.)

⬛ වාතාහටය - සුළඟින් ගෙන ගිය වස්ත්‍ර‍ය (හිමියන් නොදක්නා කල්හි ගනුත් වටී.)

⬛ දේවදතතිය - අනුරුද්ධි තෙරුන්ට මෙන් දෙවියන් දුන් වස්ත්‍ර‍ය.

⬛ සාමුද්දිය - මුහුදු රළින් ගොඩ දැමූ වස්ත්‍ර‍ය.

(මේ තෙවිසි වස්ත්‍ර‍ අතුරෙන් යම් වස්ත්‍ර‍යකින් සිවුරු කොට පෙරවන්නට ධුතංගධරයන්ට වටනේ ය.

පංසුකූලිකයන්ට නුසුදුසු වස්ත්‍ර‍

“සඞ්ඝයාට දෙම්හ” යි දෙන ලද වස්ත්‍ර‍ ද, චෝලකභික්‍ෂාවෙන් හෙවත් රෙදි පිණ්ඩපාතයේ යෑමෙන් ලබන ලද වස්ත්‍ර‍ ද, පංසුකූලිකයන්ට නුසුදුසු ය. හෙවත් එබඳු වස්ත්‍ර‍ පංසුකූල නොවේ.

🔴වත්මන් කාලයේ නම් භික්ෂූන් වහන්සේලාට පාංශුකූල චීවර පිදීමේ පහසුම ක්‍රමය නම්, දායකයා හට චීවරය භික්ෂූන් වහන්සේගේ පාද මූලයේ පොළොවෙහි චීවරය
තබා පූජා කිරීමයි. එම චීවරය ලබා ගන්නා භික්ෂූන් වහන්සේ හට එය පාංශුකූල චීවරයක් වන්නේය.

එයින් ඔබටත් භික්ෂූන් වහන්සේ හටත් ලැබෙන ආනිශංස අතිමහත්‍ ය. භික්ෂූන් වහන්සේට තම ප්‍රතිපත්තිය සරු කොට භාවනාදිය වඩා ධ්‍යාන මාර්ගඵල ලබා ගැනීමට එය මහත් උපකාරයක් වේ.එය පුදනා දායකයාටද තව කෙනෙකුගේ නිවනට උපකාරී කිරීමක් වැනි බැවින් දායකයාගේ නිවනටද එය උපනිස්ශ්‍රය වේ.

ධූතාංග ධාරී භික්ෂූන් වහන්සේලා ගෙන් අග්‍ර වූ මහා කාශයප මහ රහත් උතුමන් වහන්සේලා ගැන අසා තිබුනද ඒවා සාහිත්‍ය හෝ කතාන්තර නොවේ. ඉඳින් මෙලෙස ශාසනය තවමත් පණ ඇත.එය නොමැරී නැත.

එම නිසා තව තවත් ධ්‍යාන , මාර්ගඵල ලාභී උතුමන් වහන්සේලා බිහි වන්නට හැකි කාලයකට අවැසි බොහෝ කරුණු මෙලෙස කෙමෙන් කෙමෙන් සම්පාදනය කරන්නෙමි.

මතුසම්බන්ධයි....

මූලාශ්‍ර :- විශුද්ධි මාර්ගය, ශාසනාවතරණය

සුජාතපුත්‍ර භාවනා මධ්‍යස්ථානවාසී ,
Passara Maithreewansha Thero ✍️

14 - 4

SRIDHARA - ශ්‍රීධර
Posted 1 year ago

නිවනේ සේයාවක්වත් ලබන්නට නම්

බොහෝ දෙනා "මේ සියලු දේ කරන්නේ නිවන් දකින්නටයි" යැයි පැවසූවත් කිසි විටකත් නිවන යන්න සේයාවක් වත් ඔවුන් තුළ නැත. බෞද්ධයෝ යැයි පවසා ගන්නා බොහෝ දෙනා තුළ ඇත්තේ හුදු වත්පිළිවෙත් කොටසක් හා කලින් කලට වෙනස් වන්නා වු සිරිත් විරිත් ස්වල්පයක් පමණි.

බුදුරජාණන්වහන්සේ නමක් ලෝකයට පහළ වන්නේ ඇයි දැයි වත් නොදන්නා තරමටම හුදු ආගමක් ගණනකට සීමා කරයි. ලෝකයා මනුසත් ජීවිතයක් ලබා වුවත් එහි වටිනාකම නොදන්නා සැටි නම් පුදුමයකි. ජීවිතයේ ලැබෙන කුඩා කුඩා සැප හමුවේ මුලා වන සිත් සතන් සසර දෙසට මිස නිවනට නම් බර වී නැත.

ගේ දොර,රැකියාව ,යාන වාහන , සැමියා ,බිරිඳ , දූ දරුවන් , මිල මුදල් යනාදිය හමුවේ ඒවාගේ යථා ස්වභාවය අවිද්‍යා අන්ධකාරයෙන් මුවහ කොට සත්ත්වයා සසර සැඩ පහරට ඇද දමයි. බොහෝ දෙනා එය අපි කල යුතු දෙයක් ය සිතා කරයි.ඔවුන් ලෝකය වර්ධනය කරනවා මිස නිවනේ සේයාවක්වත් දකින්නට නොහැක.මෙය කියවන ඔබ දැටමත් මේ සසරට දෙසට යන අයෙක්ද?

ශීලය කුමටද,සමථ භාවනා කුමටද, නාම රූප ,පටිච්ච සමුප්පාදය යන අති ගම්භීර සියුම් තථාගත දහම පිළිබඳව නිවරදිව දැනීම ඇත්තේ අතලොස්සකටය. මේවා නොදත් පුහු දුන්නෝ ,භාවනාව නම් කුමක්ද යැයි නොහ‍ඳුනයි , භාවනා කිරීමෙන් ඵලක් නැත, මරණින් පසු නැවත ඉපදීමක්වත් නැත ලෙස විවිධ දෘෂ්ටි ගනී.

මෙවන් සමාජයක ඔබ අපි ජීවත් වන අතර, එයින් ලැබෙන ප්‍රතිඵල නම් නිරාගමිකත්වය , පස් පවින් පිරුණු මිනිසුන් , විවිධ විවිධ ඝට්ටන ආදී කී නොකී විවිධ දුශ්චරිතයන් ය. මෙය අරුමයක් නොවේ. භාවනාවෙන් අවබෝධ කරගත් ලෝකයේ සැබෑ තතු තුළින් මේවා අඩු වන්නට ඉඩ තිබේ . නමුත් එය එසේ නොවේ.

මේ ලෝකයේ තථාගත දහම දැන භාවනා කොට යථාර්ථය අවබෝධ කර ගත් පසු ඒ අහම තවකෙකුට පෙන්වා දීමට නොපසුබට වේ. එයයි සත්පුරුෂයින්ගේ ගුණය. ඉඳින් මේලෙස භාවනාවෙන් තනන ලද සිත නිසා නිවන ල‍ඟා කර ගත හැක.ඒ සඳහා ධ්‍යාන වඩා විදර්ශනා ඥාණ ලගා කර ගත යුතුය.එම මාර්ගය තුළ ආර්‍යශ්ඨාංගික මාර්ගය, සප්ත බොජ්ජංග ධර්ම,ශීලය ,සමාධිය, ප්‍රඥාව යන කී නොකී සියලු දෑ වර්ධනය වේ.

මෙලෙස නිවනේ සේයාව පෙනි පෙනී තිබියදී, නිවැරදි ගුරු ඇසුරක්, නිවැරදි මාර්ගයක් ඇති මේ බුද්ධෝත්පාද කාලය , ඔබ නිකරුණේ ගත කර විවිධ දෑ වලට මුලා වී භයානක සසරට වැටෙනවාද.....?

මෙත් සිතින්,
සුජාතපුත්‍ර භාවනා මධ්‍යයස්ථාන වාසී,
Passara Maithreewansha Thero ✍️

11 - 0