in the future - u will be able to do some more stuff here,,,!! like pat catgirl- i mean um yeah... for now u can only see others's posts :c
~~ කය අනුව සිහිය වඩනා ආකාරය ~~
මහා සතිපට්ඨාන සූත්‍රය ඇසුරෙන් ලියැවෙන ලිපි පෙළක තවත් කොටසකි. සූත්‍ර වර්ණනාවෙහි දැක්වෙන කරුණු විග්‍රහ කරමින්, සතිපට්ඨාන භාවනාව වැඩීමට මෙහිදී පසුබිම සකස් කරනු ලැබේ.
මේ සූත්‍රය බුදු රජාණන් වහන්සේ දේශනා කළේ කුරුරටවාසී මනුෂ්‍යයන්ටයි. ඒ අය ස්වභාවයෙන්ම ඥාන සම්පත් ඇති, බුද්ධිමත් සත්ත්වයෝය කියලා කියනවා.
ඉතින් මෙතැනදී මේ සූත්‍ර වර්ණනාව තුළින්, දන්න කෙනාට අප්‍රමාදීව මේකෙන් කරන්න ඕන කියන ධර්මතාවට මනස යොමු කරවනවා; අනෙක් කෙනාට දුක් දොම්නස් නැති කරන්න. එහෙම නම් කොහොමද තියෙන්නේ කියලා බලන්න එන්න උනන්දුව ඇති කරවනවා. එහෙම බලන්න ආවහම ඒ එන කෙනාට ඉතුරු ටික වෙන්න ඕනේ මෙතැනින්ම විතරක් නොවෙයි. මේ උපායත් මේ ටික පෙන්නලා මෙතැනට ගෙන්නාගන්නයි. ආවහම ඉතුරුටික දීලා .මේ ටික දෙන්න ඕනේ.
ඉතින් මෙන්න මේ ආනිසංස දැකලා බොහෝ දෙනකුට මේකෙන් වන උපකාරය දැකලා, කරුණාවෙන් ම තමයි භාග්‍යවතුන් වහන්සේ සූත්‍ර වර්ණාව ඉස්සෙල්ලා දේශනා කළේ.
ඉහත ආනිසංස ලබන්නට වැඩිය යුතු පිළිවෙත ඊළඟට බුදු රජාණන් වහන්සේ දේශනා කළා. යදිදං චත්තාරෝ සතිපට්ඨානා: මේ සතර සතිපට්ඨානයයි. මෙහි හතරක් ම බෙදුවේ ඇයි? මම මුලින්ම මතක් කළා, හතර පොළක ඇති වන ආත්ම දෘෂ්ටිය දුරු කරන්නයි. ඒකෙ දී මොකක්ද හතර?
1. ඉධ භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී විහරති ආතාපී සම්පජානෝ සතිමා විනෙය්‍ය ලෝකේ අභිජ්ඣා දෝමනස්සං;
මහණෙනි, මෙහි මහණතෙම කෙලෙස් තවන වැර ඇතුව, මනා නුවණ ඇතුව, මනා නුවණින් යුක්ත වූ සිහියකින් දැඩි ලෝභය හා දොම්නස දුරු කරමින් ලෝභ, ද්වේෂ දෙක ඇති නොවන විදියට කයෙහි කය අනුව බලමින් වාසය කරනවා.
2. වේදනාසු වේදනානුපස්සි විහරති ආතාපී සම්පජානෝ සතිමා විනෙය්‍ය ලෝකේ අභිජ්ඣා දෝමනස්ස.
3. චිත්තේ චිත්තානුපස්සී විහරති ආතාපී සම්පජානෝ සතිමා විනෙය්‍ය ලෝකේ අභිජ්ඣා දෝමනස්ස.
4. ධම්මේසු ධම්මානුපස්සි විහරති ආතාපී සම්පජානෝ සතිමා විනෙය්‍ය ලෝකේ අභිජ්ඣා දෝමනස්ස.
කෙලෙස් තවන වැර ඇතුව, මනා සිහි නුවණින් යුක්ත ව ලෝභ, ද්වේෂ දෙක ඇති නොවන විදියට හික්මෙන්න කාය, වේදනා, චිත්ත, ධම්ම කියන ධර්මතා හතරක් තියෙනවා.
ආතාපි කියලා කිව්වේ වීර්යයට නමක්.
සම්පජානෝ කියල කියන්නේ නුවණ.
සතිමා කියලා කිව්වේ සිහිය.
විනෙය්‍ය ලෝකේ කියලා කිව්වේ ලෝකය, නැත් නම් ජීවිතය පිළිබඳ ඇල්ම දුරු කොට කියන අදහසයි.
විනෙය්‍ය කියන කොට විනය කොටස් දෙකක් තියෙනවා (මේ කාරණා ඔක්කෝම
අපි දැනගන්න ඕන). සංවර විනය, ප්‍රහාණ විනය කියලා.
1. ‘සංවර විනය’- සීල සංවරය, සති සංවරය. ඤාණ සංවරය, ඛන්ති සංවරය, විරිය සංවරය කියලා පස් ආකාරයකට බෙදනවා.
i. සීල සංවරය: ප්‍රාතිමොක්ඛ සංවරයෙන් සංවරය කියලා පෙන්නන තැනදී සීල සංවරය ගත යුතුයි. ගිහි පින්වතුන්ගේ පන්සිල්, උපෝසථ අෂ්ටාංග සිල් ස්වාමීන් වහන්සේලාගේ සාමණෙර සිල්, උපසම්පදා සිල් වගේ ටික සීල සංවරය කියන තැනට අයිතියි. ඒකත් විනයයි. සීල සංවරය අයිති වන්නේත් විනයටයි.
ii. සති සංවරය: චක්ඛුනා රූපං දිස්වා න නිමිත්තග්ගාහී හෝති. නානුබ්‍යඤ්ජනග්ගාහී යත්ථාධිකරණමේනං චක්ඛු ඉන්ද්‍රියං අසංවුතං විහරන්තං අභිජ්ඣා දෝමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්සවෙය්‍යුං තත්ථ සංවරාය පටිපජ්ජති රක්ඛති චක්ඛු ඉන්ද්‍රියං සංවරං ආපජ්ජති කියලා පෙන්නන තැනදී සති සංවරය. ඒ කියන්නේ ඇසින් රූපයක් දැක එහි නිමිති වශයෙන් අනුව්‍යඤ්ජන වශයෙන් ගන්නේ නැහැ. චක්ෂුරාදි ඉන්ද්‍රිය අසංවර තැනැත්තාගේ සිතට යම් ලෝහ ද්වේෂදි පාපක අකුසල ධර්ම පැමිණේ ද එහි සංවර තැනැත්තාට එබඳු පාපී වූ අකුසල දහම් හටගන්නේ නැහැ.
iii. ඤාණ සංවරය: ඊට පස්සේ ‘යානි සෝතානි ලෝකස්මිං සති තේසං නිවාරයේ, සෝතානං සංවරං බ්‍රෑමි පඤ්ඤායතේ පීථියරේ කියලා මේ ලෝකයේ යම් තාක් කෙලෙස් නදී තියෙනවා නම්, ගංගාවල් තියෙනවා නම්, සිහියෙන් මේක වළක්වලා, ප්‍රඥාවෙන් මේක සිඳලා දානවා කියලා පෙන්වනවා. මෙන්න මේ තැන දී ඤාණ සංවරය කියනවා.
iv. ඛන්ති සංවරය: ඊට පස්සේ, ඛමෝ හෝති සීතස්ස, ඛමෝ හෝති උණ්හස්ස, කියලා, සීත ඉවසන්න ඕන, උෂ්ණය ඉවසන්න ඕන, මැසි මදුරු, අවුසුළං ඉවසන්න ඕනෑ බඩගින්න සාපිපාසාදිය ඉවසන්න ඕන. මෙන්න මේක ඛන්ති සංවරය: ඉවසීමෙන් සංවර වෙනවා.
v. විරිය සංවරය: විරිය සංවරය කියලා කියනවා උප්පන්නං කාමවිතක්කං නාධිවාසේති පජහති විනෝදේති ඛ්‍යන්ති කරෝති. අනභාවං ගමේති, කාම විතර්ක ව්‍යාපාද විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක, උපන් උපන් පාපක අකුසල ධර්මයෝ නැති කරන්න වීර්ය කරයි නම්, මෙන්න මේ පාපක අකුසල ධර්මයන්ගෙන් සංවර වෙන්න තියෙන වීර්යයි.
මේ විදියට සංවර විනය පස් ආකාරයයි. ඉහත දැක්වූ ධර්මතා ටිකේ තමයි අප හැසිරිය යුතු වන්නේ.
‘පහාණ විනය’ කියන-එක තදංග ප්‍රහාණ, වික්ඛම්භන ප්‍රහාණ, සමුච්ඡේද ප්‍රහාණ, පටිප්පස්සද්ධි ප්‍රාහාණ, නිස්සරණ ප්‍රහාණ කියලා පහකට බෙදනවා.
i. තදංග ප්‍රහාණ: තදංග ප්‍රහාණය කියන්නේ මේ ධර්මතා එකින් එකට පටිබද්ධයි. රාගාදි අරමුණක් දැන් ඇති වුණොත් ඒ මොහොතේ ම අශුභ වශයෙන් බලන කොට තදංග වශයෙන් රාගය අත්හැරෙනවා. ද්වේෂයක් ඇති වුණොත් ඒ වෙලාවේ දී මෛත්‍රී සිත මෙනෙහි කරනවා. තදංග වශයෙන්, ඒ මොහොතට යට යනවා.
ii. වික්ඛම්භන ප්‍රහාණ: ඉහත දැක්වූ විදියට තදංග වශයෙන් නැති කරන කොට වික්ඛම්භන කියන මට්ටමට පත් වෙනවා. වික්ඛම්භන කියලා කියන්නේ කල්ප ගණනකට කෙලෙස් නැගිිටින්නේ නැති තත්ත්වයකට පත් වෙනවා. සමහර විට උත්කෘෂ්ට (නේවසඤ්ඤානාසඤ්ඤාා) වශයෙන් වැඩුවාම මහා කල්ප අසූහාරදාහක් යන කල් කෙලෙස් ඇති වෙන්නේ නැහැ.
iii. සමුච්ඡේද ප්‍රහාණ: වික්ඛම්භන තත්ත්වය නැවත නැවතත් කරද්දී නුවණ හා එකතු වෙලා සමුච්ඡේද වශයෙන් කෙලෙස් ඉතුරු නැතුවම නැති කරනවා. ඒක කෙරන්නේ මාර්ගඥානයෙනුයි.
iv. පටිප්පස්සද්ධි ප්‍රහාණ: සමුච්ඡේද වශයෙන් කෙලෙස නැති කිරීම හේතු වෙනවා පටිප්පස්සද්ධි - කෙලෙස් සංසිඳෙනවා කියන තැනට. ඒ කියන්නේ මාර්ගයට අනතුරුව ලැබෙන ඵලයෙ’මට්ටමයි.
v. නිස්සරණ ප්‍රහාණ: නිස්සරණ ප්‍රහාණය කියන්නේ නිවනයි. සියලු කෙලෙසුන්ගෙන් ඉවත් වීම, මිදීම, නැති කිරීම, වෙන් වීම, නිස්සරණයයි.
ඒ නිසා ලෝභ දෝෂ දෙකේ හික්මෙන්න කියන කොටත් ඔන්න ඔය ටික තේරුම් කරගත යුතුයි. ඔන්න ඔය ටික තමන් සන්තකයේ තියාගෙන මේ විනය මේ තැන දක්වා වඩන්න ඕන, වැඩෙන්න ඕන කියන ටික තේරුම් අරගෙන මේ සතිපට්ඨාන සූත්‍රය අපි සාකච්ඡා කරමු.
එතකොට සතිපට්ඨානයේදී – (සතිපට්ඨාන කියන්නේ ඇයි? සතියා පට්ඨානං සතිපට්ඨානා, සිහියේ පිහිටුවීම සතිපට්ඨානයයි) මේ කාය, වේදනා, චිත්ත, ධම්ම කියලා කියන්නේ සිහිය පිහිටුවන්න තියන ධර්මතා හතරක්. මේ හතර තැන්හි තමයි හැම වෙලාවෙම අපේ සිහිය පිහිටුවන්න තියෙන්නේ. ඒ හතර තැන්හි සිහිය පිහිටුවන්න ඕන කොහොමද? ආතාපී සම්පජානෝ සතිමා. කෙලෙස් තවන වැර ඇතුව, මනා නුවණින් යුක්ත වූ සිහියක් තියෙන්න ඕන. ලෝභ, දෝෂ දෙක හික්මෙන විදියේ සිහියක් තියෙන්න ඕන. එතකොට මෙතැන දී මේ සතිපට්ඨානය කියන-එක වඩන්න පුළුවන් එකක්. සතිපට්ඨානය, වඩන කොට වැඩෙන්න ඕන එකක්.
මම පොඩි උපමාවක් මතක් කරන්නම්. සංයුක්ත නිකායේ තියෙනවා ඡප්පාණක කියලා සූත්‍රයක්. මම කෙටියෙන් මතක් කරන්නම්: මේ සූත්‍රයේ තියෙනවා බුදු රජාණන් වහන්සේ දේශනා කරලා සත්තු හය දෙනෙක් ගැන. නරියා, බල්ලා, කිඹුලා, කපුටා, නයා, වඳුරා වශයෙන්. ලණු කෑලි හයක් අරගෙන ඒ සත්තු හයදෙනාගේ නැටි හයේ බඳිනවා. ඒ කියන්නේ නරියෙක්ගේ වලිගයේ ලණු කෑල්ලක් බඳිනවා. බල්ලෙක්ගේ වලිගයෙත් ලණු කෑල්ලක් පටලවනවා. කිඹුලෙක්ගේ නැට්ටෙත් ලණු කෑල්ලක් පටලවනවා. කපුටෙක්ගේ නැට්ටෙත් ලණුවක් පටලවනවා. නයාගේ වලිගයෙත්
ලණුවක් පටලවනවා. වඳුරාගේ වලිගයෙත් ලණුවක් පටලවනවා. මේ සත්තු හයදෙනාගේ නැටි හයේ ලණු කෑලි හයක් බැඳලා ලණු කෑලි හයම එකට එකතු කරලා ගැටයක් ගහලා අතහරිනවා.
නානා ගති, නානා අදහස් ඇති සත්තු හය දෙනෙක් නිසා මේ හය දෙනා හය පැත්තට අදිනවා නේ. අදින කොට ලොකු කැලඹීමක් හටගන්නවා. අපි කියමු නරියා අදිනවා සොහොනට යන්න. බල්ලා අදිනවා ගමට යන්න. කිඹුලා අදිනවා වතුරට යන්න. කපුටා හදනවා අහසට පියාඹන්න. නයා හදනවා තුඹසට යන්න. වඳුරා හදනවා ගහට යන්න. මේ වාගේ එහාට-මෙහාට අදිනවා. ඔහොම අදිමින් ඉඳලා එක්කෙනෙක් බලවත් වුණොත් අනික් ඔක්කොම ටික ඇදගෙන ඒ පැත්තටම යනවා. ඇයි? දැන් ඔක්කෝගෙම නැටි ටික බැඳලා ඉතුරු කෙළවරවල් ටික එකට ගැටගහලා නේ තියෙන්නේ.
ඒ වාගේ, බුදු රජාණන් වහන්සේ මේක උපමා කරනවා සතිපට්ඨානය නොවඩන ලෝකයාගේ මනසට. නානා ගති ඇති, නානා අදහස් ඇති සත්තු හයදෙනා වගේ තමයි ඇහැ, කන, දිව, නාසය, ශරීරය, මනස. එතකොට දැන් ඒවා ඔක්කොම නැටි ටික එකට ගැටගහලා වගේ, අපි මේ ආයතන ටික එකට ගැටගහලා තියෙන්නේ. පේන දේ අහන්න පුළුවන්; ඇහෙන දේ පේනවා; පේන දේ ගඳ-සුවඳ බලන්න පුළුවන්; ගඳ-සුවඳ දැනෙන එකයි මේ පේන්නේ කියලා දැන් අපි මේ ආයතන ටික ඔක්කෝම එකට ගැටගහලායි තියෙන්නේ. දැන් ඇහැ අදිනවා රූප බලන්න: කන අදිනවා සද්ද අහන්න; නාසය අදිනවා ගඳ-සුවඳ බලන්න; දැන් එහාට මෙහාට ලොකු කැලඹීමක්. මේ විදියට හිත-හිතා ඉන්නවා කියන්නේ ඔය සත්තු ටිකේ ඇදීමටයි. ඉතින් එකෙක් බලවත් වුණහම ඔක්කෝම ටික ඇදගෙන යනවා. ටීවී-එකක් එහෙම දාලා, ලස්සන නාට්‍යයක් යනවා කියන්නේ ඔන්න දැන් එක සතෙක් බලවත්. අනික් එවුන් ඔක්කෝම මතක නැහැ; ඔක්කෝම ටික ඇදගෙන එක සතෙක් යනවා වගේ. දැන් ඉතින් රූප බලනවා. අනිත් ඔක්කොම ටික ඒ අනුව පවතිනවා.
ඔන්න එතැනින් නැගිටින කොටම දැන් ලස්සන සින්දුවක් යනවා කියන්නකෝ. දැන් ඒක අහනවා. ඒ කියන්නේ දැන් ඔක්කෝම සත්තු ටික ඇදගෙන අනික් සතා යනවා. ඔන්න ඔය වගේ පෙන්නුවා ලෝකයාගේ මනස.
දෙවනුවට ආයෙත් උපමාවක් පෙන්නුවා. ඒ වගේ නානා ගති ඇති, නානා අදහස් ඇති සත්තු හයදෙනෙක් ඉන්නවා. මේ සත්තු හයදෙනාව අර වගේ අරගෙන නැටි හයේ ලණු කෑලි හයක් බඳිනවා. බැඳලා ඉතුරු කෙළවරවල් ටික ඔක්කෝම අරගෙන කණුවක හරි, ටැඹක හරි බඳිනවා. දැන් බැන්දහම වෙනදා පුරුද්දට අර සත්තු එහාට-මෙහාට අදිනවා. හොඳට බලන්න. කණුවේ බැන්දා කියලා, බැඳපු ගමන්ම හීලෑ වෙනව ද? නෑ. එහාට අදිනවා. මෙහාට අදිනවා. හැබැයි වෙනදා වගේ ඇදගෙන යන්න බැහැ. ඔහොම ඇදල, ඇදලා ඒ අයට ම එපා වෙලා, කණුව මුල ම වැතිරිලා ඉන්න දවසක් එනවා.
මේ ටික දේශනා කරලා, බුදු රජාණන් වහන්සේ දේශනා කරනවා. ‘මහණෙනි, මම සතිපට්ඨානය ටැඹකට උපමා කරමි. කණුවකට උපමා කරමි’ කියලා.
මේ සතිපට්ඨානය වඩන්න පෙර, නොයෙක් අරමුණුවල හිත ඇදගෙන ගියා; වෙනදාට ඇදගෙන යන්න පුළුවන් වුණා. ඒත් සතිපට්ඨාන භාවනාව පටන්ගත්තාට පස්සේ ඇදගෙන යන්න බැරි වෙනවා. හැබැයි සත්තු එහාට මෙහාට නො අදිනවා නොවෙයි; අදිනවා. එහෙත් ඇදගෙනම යන්න බැරි වෙන්න ඕන.
ඔන්න ඔය උපමාවත් පොඩ්ඩක් මතක තියාගන්න. මම පසුව විස්තර කරනවා.
මෙන්න මේ විදියට සිහිය කියන-එක ටැඹක් බව මතක තියාගන්න. කණුවක් බව මතක තියාගන්න. හිත බැඳගන්න ඕනේ-එකක් හැටියට මතක තියාගන්න. ඒ කියන්නේ අපි සති නිමිත්තක හිත තියාගෙන මේ සතිපට්ඨාන භාවනාව කළ යුතුයි කියලයි මම ඔය ඇත්තන්ට මතක් කරන්නේ.
ඔබ සැමට තෙරුවන් සරණයි..
පූජ්‍ය මාන්කඩවල සුදස්සන හිමි
මේ සඳහම් ලිපිය බෙදා හැරීමට හෝ කියවීමට ඇවැසි පිංවතුන් 0725400094 අංකයට වටස් ඇප් පණිවිඩයක් යොමු කරන්න.
දිනපතා මෙවැනි ලිපි කියවීමට ඇවැසි ඇත්තෝ වෙතොත් අපගේ සඳහම් සමූහයට එක් වන්න
Follow this link to join my WhatsApp group: chat.whatsapp.com/LDw0pu6WqhrFcZFxMuHxJu
පසුගිය ලිපි කාණ්ඩ වශයෙන් පරිශීලණය කිරීමට පිවිසෙන්න
pansilmaluwa.lk
70 - 2
සිහියෙන් අවබෝධයට ........
මේ හිතේ පහළ වන නාම ධර්මයි මෙච්චර කල් අපි රූපය හැටියට තීරණය කළේ.
අපි මෙහෙම උපමාවක් ගනිමු. මිරිගුව ගැන දන්නවා නේ. මිරිගුව කියන එක තේරුම් ගන්න නලියන නලියන ස්වභාවයක් වගේ කියලා. ඇසත් රූපයත් දෙක ගැටීම නිසා කියන කොට දැන්
හොඳට දකින්න රූපය කියල කිව්වෙ අර මිරිගු ස්වභාවයට කියලා. මිරිගු ස්වභාවය කියන එක කවදා වත් මසැසින් දකින්න බෑ. නුවණින් තමයි අපි මිරිගුව කියන එක දන්නේ. මේ ඇස කියන එක ධාතුවක්. චක්ඛු ධාතුව. රූප ධාතුව. ධාතු
කියන්නේ ස්වභාවයක්. මිරිගු ස්වභාවයක් තියෙන්නේ. රූප ස්වභාවයක් තියෙන්නේ. ඒ මිරිගු ස්වභාවය තමයි මේ ඇහැට
ගැටෙන්නේ. ඇහැට මිරිගු ස්වභාවය ගැටෙන කොට හිත උපදිනවා. ඔන්න චක්ඛු විඤ්ඤාණය උපන්න කියන්න කො. උපන්න සිතට පේන්නේ ජලය වගේ. ඒ හිතේ පහළ වන වේදනා සඤ්ඤාවලට තේරෙන්නේ මොකක් ද? ..ජලය වගේ..
දැන් හොඳට බලන්න. ජලය වගේ තියෙන රූපයක් ගැටිල හිත උපන්න නෙමෙයි. හිත උපන්නට පස්සෙයි මෙහෙම පේන්නේ.
මේ ටික තේරුම් ගත්තොත් මෙපමණකින් නමුත් ජීවිතය හිස් නෑ. දැන් අද අපි හිතන්නේ හිත උපන්නට පස්සෙ, පෙනෙන රූපය ම ගැටිලයි හිත උපන්නේ. උපන්න හිතට පෙනෙන්නෙත් ඒ රූපය ම කියල නෙ. මේ රූපය ඇහැට ගැටිලයි හිත උපන්නෙ. උපන්න හිතට පේන්නෙත් ඒ ටික ම කියල නෙ අපි හිතන්නෙ. මේ සිද්ධිය ද
වුණේ කියල බලන්න මිරිගුව දිහා. මිරිගුව කියලා අපට ගැටුනේ නලියන ස්වභාවය කියන්න කො. මේ ස්වභාවය ඇසට ගැටිල නෙ හිත උපන්නෙ. උපන්න හිතට පෙනුණෙ කොහොම ද? දැන් මිරිඟුව දිහා බලන කොට ඇහෙන් පේන්නේ ජලය වගේ නෙ. දැන් මේ මට්ටම තිරිසන්ගත සතාටත් අපටත් එක ම නෙ. දැන් හිතට පේන විදියෙ රූපයක් ගැටිල ද හිත උපන්නේ? නැත්නම් උපන්නට පස්සෙ මෙහෙම එකක් පේනව ද? චක්ඛු විඤ්ඤාණයට පෙනෙන දර්ශනය, අපි දැන් දන්නවා මේ ඒ දේ හිතත් එක්ක උපන් දෙයක් කියල. ජලය වගේ පේන එක තිබුණු දෙයක් නෙමෙයි හිතත් එක්ක උපන් සඤ්ඤාවක් කියල දන්නව. ඇයි එහෙම දන්නෙ? මේ හිත උපදින්න පෙර අපි රූපය පිරිසිඳ දන්නවා. මිරිගුව කියන්නෙ ධාතු ස්වභාවයක්. ඒ තුළ හැඩ සටහන් නෑ. මේ හිත උපදින්නට පෙරත් උපන්නට පස්සෙත් යථාභූත ස්වභාවයට නුවණයි අපිට තිබුණෙ. මිරිගුව කියල කියන්නෙ මෙහෙම නලියන ස්වභාවයක්. මේ ස්වභාවයයි ඇහැට ගැටුණෙ. මේ ස්වභාවය තුළ හැඩතල තිබුණේ නෑ. ඒ ගැටුණු නිසා හිත උපන්න ම උපන්න හිතට මෙහෙම පේනව. මේ පේන දෙය හිතත් එක්ක උපන්න දෙයක් විතරයි කියල අපට නුවණ තියෙනව. හිතත් එක්ක පේන දෙයක් ය කියන ඒ නුවණ තියෙන්නෙ, තිබුණු දෙයට නුවණ තිබුණු හින්දයි. ඒ කියන්නෙ මිරිගුව කියන දෙයට නුවණ තිබුණු හින්දයි පෙනෙන එක ජලය වගේ කියල අපි හිතන්නෙ. හැබැයි උපන්න හිතට යමක් මැවෙනව නම්, ඊට පෙර තිබුණු ස්වභාවය ගැන නුවණ නැති වුණොත් අපට වෙන්නෙත් මොකක්
ද? මේ පේන (තියෙනදේ මයි හම්බ වුණේ කියල හිතනව.සසර සහ නිවන කියන එක තීරණය වෙන්නෙ මෙතැනින්).
බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඇදහීමකට වත් යන්න ඕන වෙන්නෙ නැහැ. මේ සිද්ධිය මෙහෙම මිස වෙන විදියකට වෙන්න විදියක් නෑ කියන ප්‍රත්‍යක්ෂ ඥානයක් ඒ ඒ කෙනාට ම උපදිනව. හොඳට බලන්න. අපටත්, හරකෙක් වගේ තිරිසන්ගත සතකුටත් දෙන්නට ම කාම ධාතුවෙ විපාකයක් වශයෙන් නෙ ඇහැ ලැබුණෙ.
මේ ඇහැට රූපය ගැටෙනව කියන්නෙ අර මිරිගුව නෙ ගැටෙන්නෙ. ගැටෙන කොට ජලය වගේ පේනව. දැන් අපි දන්නවා
ඒ ජලය වගේ දේ හිත එක්ක උපන් සඤ්ඤාවක්. ඒක තියෙන එකක් නෙමෙයි. හිත නිරුද්ධ වෙන කොට ම නිරුද්ධ
වෙනව. තියෙන්නෙ මිරිගුව. තියෙන දේ ගැන දන්න හින්ද උපන්න දේ ගැන නුවණයි. උපන්න දේ ගැන දන්න හින්ද තියෙන දේ ගැන නුවණයි. තිරිසන්ගත සතාටත් ඔය දේ ම වෙනව. ඒ වුණාට මේ නුවණ නෑ. මේ ජලය වගේ පේන්නෙ හිතටයි නේ ද කියල ඒක ගැන නුවණක් නෑ. මේ පේන දේ නිරුද්ධ වෙන කොට පවතින්නේ මේ දේ නේ ද කියල තියෙන දේ ගැන නුවණක් නෑ. පවතින දේ ගැන
නුවණ නැති කොට උපදින දේ ගැන නුවණ නෑ. උපදින දේ ගැන නුවණ නැති කොට පවතින දේ ගැන නුවණ නෑ. එහෙම නුවණ
නැති කෙනාට හම්බ වෙන්නේ විඤ්ඤාණයේ අත්දැකීම විතරයි. ප්‍රඥාව නෑ විඥාණය විතරයි එයාට තියෙන්නෙ. තිරිසන්ගත සතාට ප්‍රඥාව යෙදෙන්නේ නෑ කියන්නෙ ඒකයි. නුවණින් ම නෙ ධාතුව දකින්න ඕන. එයාට ප්‍රඥාව යෙදුණේ නෑ. එයාට චක්ඛු විඤ්ඤාණය විඤය්‍ය වුනේ ජලය වගේ නෙ. තිරිසන්ගත සතාට නුවණ යෙදෙන්නෙ නෑ. අහේතුක සිත් කියන්නේ ඒ නිසයි. උපන්න දේ නිරුද්ධ වෙනවා කියන නුවණ එන්නෙ පවතින දේ දකිනව නම්. පවතින දේ දකිනව නම් තමයි උපදින දේ දකින්නේ. මෙහෙම දෙපැත්තක් නැති වුණා ම එයාට හැම වෙලාවෙ ම ලැබෙන්නේ විඤ්ඤාණයේ අත්දැකීම. ඇසත් රූපයත් දෙක ගැටීම නිසා හිත උපන්න ම ජලය වගේ පේන සිද්ධියක් එයාට මැවෙනව.
මේ හිත නිරුද්ධ වෙන කොට ම ඊළඟට හිතෙන් තීරණය කරන්නෙ අර හිතෙන් දැකපු සිද්ධිය මෙහේ තිබුණු දේ හැටියට.
ඉස්සෙල්ල හිතේ පහළ වුණු වේදනා, සඤ්ඤ, චේතනා තමයි මෙයා රූපය හැටියට තීරණය කරන්නෙ. තිරිසන්ගත සතාට පේන්නෙ ජලය කියල දෙයක් මෙහෙ තියෙනව කියල නෙ. තේරුණා ද මෙයාට වෙලා තියෙන්නේ මොකක් ද කියල?
නුවණ නොයෙදෙන කොට, විඤ්ඤාණයේ මට්ටම යෙදෙන කොට විඤ්ඤාණය තුළ ප්‍රඥාව යෙදෙන්නේ නෑ. මෙයාට රූපය
කියල හම්බ වුණේ ඉස්සෙල්ල හිත්තේ නාම ධම නෙමෙයි ද? අපට ප්‍රඥාව යෙදුණ හින්ද පෙනුණ දේ හිතත් එක්ක හටගෙන
හිතත් එක්ක නිරුද්ධ වෙන දෙයක් විතරයි කියන නුවණේ අපි එළඹ සිටියා. තිරිසන්ගත සතාට ප්‍රඥාව නොයෙදුණු නිසා, විඤ්ඤාණයේ අත්දැකීම විතරක් ගෝචර කරගන්න එයාට පුළුවන්කම
තිබුණු නිසා වෙන හැකියාවක් නැති නිසා එයා මොකද කළේ? මේ සිත ඉපිද නිරුද්ධ වෙන කොට ඉස්සෙල්ල හිත අරමුණු කළා,
තියෙන දේ හැටියට. දැන් ඔන්න තිරිසන්ගත සතාට බාහිරින් හම්බ වෙනවා ජලය විදියට රූපයක්. එයා අහකට යන කොටත් බැහැරින් එහෙම එකක්
(ජලය) තියෙනවා කියලයි හිතන්නෙ. ගිහිල්ලත් බැහැර තිබෙන රූපයක් (ජලය) ගැනයි සිහි කරනෙ. ආපහු බලන්න එනවා.
බලන්න එනවා කියන්නේ ආයෙත් ධාතු ගැටෙන කොට (අර දේ ම) උපදිනවා. මෙයා (එතන දීත්) දකින්නෙ (ඇත්තට ම තියෙන දේ කියල. මේ වර්ණ රූපයයි කියල තිරිසන්ගත සතාට මේ හම්බ වුණේ
අවිද්‍යාව ඇතුළෙ ම නෙමෙයි ද? ජලය කියල රූපයක් හම්බ වෙනව
නම් මේ අවිද්‍යාව ඇතුළෙ ම නෙමෙයි ද?
පින්වතුනි, මේ සිද්ධිය මයි අපට වෙලා තියෙන්නෙ. අපට ලෝකය හම්බ වෙන්නෙත් එහෙමයි. අවිද්‍යාව ඇතුළෙ අපි ඉන්නෙ.මිරිගුව හමුවන අරමුණේ තිරිසන්ගත සතාටයි අපටයි තිබුණු මානසික මට්ටම තේරුණා ද? මේ ලෝකය හම්බ වෙන කොට අපිත් ඔහොමයි.
දැන් තිරිසන්ගත සතාගෙ තැන අපි ඉන්නේ. මනුෂ්‍යයාගේ මට්ටම බුදු, පසේබුදු, මහරහතන්වහන්සේලාගේ මට්ටම.
අරමුණක් උපදින කොට, ඇහැත් රූපයත් දෙක ගැටුණ කියන කොට, රූපය කියන කොට අපි දකින්න ඕන, අර මිරිගුව වගේ
කියල. මේ චක්ඛු ධාතුවට රූප ධාතුව ගැටීම නිසයි චක්ඛු විඤ්ඤාණය උපන්නෙ. ඒ චක්ඛු විඤ්ඤාණ හිතටයි මෙබඳු (රූපයක් ය කියා) සඤ්ඤාවක් පහළ වෙන්නෙ. එහෙම නැතිව මේ චක්ඛු
විඤ්ඤාණ හිතට පහළ වන සඥාව ගැටිල නෙමෙයි, මෙබඳු විදියෙ රූපයක් ගැටිල නෙමෙයි මේ හිත උපන්නෙ. මේ උපන්න
හිතටයි මේ පහළ වෙන්නෙ. මේ හිත උපන්න නිසයි මෙබඳු සටහනක් පේන්නෙ කියන එක වෙන්න නම් යථාභූත ස්වභාවය
ගැන නුවණ තියෙන්න ඕන. ඒ කියන්නෙ ධාතුවේ ස්වභාවය ගැන නුවණ තිබුණෙතින් තමයි මේ හිතත් එක්ක උපන්න දෙයක් කියන නුවණ එන්නෙ. හිතත් එක්ක උපන්න දෙයක් ය මේ හම්බ වෙන්නෙ කියන නුවණ ආවොතින් තමයි, පවතින්නේ මේ ස්වභාවය කියන නුවණ එන්නෙ. මේ දෙක ම නැත්නම් අපට මේ මට්ටමේ දි හමු වෙන්නේ විඤ්ඤාණ මට්ටම විතරයි.තිරිසන්ගත සතාට ජලය කියල හම්බ වෙනව වගේ අපටත් දැන් මෙබඳු සටහනක් බැහැරින් තියෙනව. පැත්තකට ගිහිල්ලත් හිතෙන් හිතනව. හිතන කොටත් බැහැරින් තියෙන දෙයක් ගැන හිතන්නෙ. ආපහු බලන්න ඕන කියල එනව. එන කොට ආයෙත් ධාතු ටික ගැටිල ආයෙත් ඔය සිද්ධිය වෙනව. "ආ මේ තියෙන්නෙ...' කියලා නැවතත් හිතනව. නැවතත් යථාර්ථය දන්නෙ නෑ. නැවතත් හටගෙන නිරුද්ධ වෙන කොට ම
ඒ හිතෙනුත් තීරණය කරන්නෙ අර විදියට මයි. මේ අරමුණ ම බුදුරජාණන් වහන්සේස්ලාගේ, පසේ බුදුරජාණන්
වහන්සේලා ගේ, මහරහතන් වහන්සේස්ලාගේ, ගැටෙන කොට උන්
වහන්සේලා දන්නව. ලෝකයත්, ලෝකයේ ඇති වීමත් නැති වීමත්. ධාතු සම්මර්ෂණය කරනව කිවෙ ඒකට. රූප ධාතුව බැලුව කිවේ මිරිඟුව ගැන බැලුව වගේ. හිත් උපදින කොට ජලය වගේ පෙනිලා හිත් නැති වෙන කොට ජලය වගේ පේන එක නැති වෙනව කියන නුවණක්
ආවොත් සිහි කරන්න සිතට අත්දැකීම් හම්බ වෙන්නෙ නැහැ නෙ.
අතිපූජ්‍ය මාන්කඩවල සුදස්සන ස්වාමීන්වහන්සේගේ දේශනාවක් ඇසුරෙන් .....
මේ උතුම් සඳහම් ලිපිය කියවීමට හෝ බෙදා හැරීමට කැමති පිංවතුන් 0725400094 අංකයට වට්ස් ඇප් පණිවිඩයක් යොමු කරන්න.
දිනපතා මෙවැනි උතුම් සඳහම් ලිපි කියවීමට හෝ බෙදා හැරීමට කැමති පිංවතුන්ට අපගේ සඳහම් සමූහය සමඟ එක් විය හැක.
chat.whatsapp.com/LDw0pu6WqhrFcZFxMuHxJu
මෙවැනි වටිනා සඳහම් ලිපි එකතුවකින් යුතු අපගේ නිල වෙබ් පිටුවට පිවිසෙන්න
pansilmaluwa.lk
තෙරුවන් සරණයිex
33 - 4
“මහණෙනි, මේ දේවදූතයෝ තුන්දෙනෙක් වෙත්. කවර තිදෙනෙක්ද යත්, මහණෙනි, මේ ලෝකයෙහි ඇතැමෙක් කයින් දුශ්චරිත කෙරෙයිද, වචනයෙන් දුශ්චරිත කෙරෙයිද, සිතින් දුශ්චරිත කෙරෙයිද මහණෙනි ඔහු නිරය පාලයෝ වෙන වෙනම අත්වලින් අල්ලා ගෙණ යමරජහට දක්වත්. (කෙසේද) ‘දේවයන්වහන්ස, මේ පුරුෂතෙම, මව කෙරෙහි වරදවා පිළිපැද්දේය, පියාට මනාව නොපිළිපැද්දේය, ශ්‍රමණයන්ට මනාව නොපිළිපැද්දේය රහතන්ට මනාව නොපිළිපැද්දේය, කුලදෙටුවන් නොපිදුවෝය, මොහුට දේවයන්වහන්සේ දඬුවම් කළමැනව’ (කියායි) මහණෙනි, ඔහුට යමරජ තෙම පළමුවන දේවදූතයා පැහැදිළි කරන්නේය. කරුණු පිළිගන්වමින් අසන්නේය කරුණු විමසමින් අසන්නේය. (කෙසේද?) ‘එම්බල පුරුෂය, තෝ මිනිසුන් අතරෙහි පහළවූ පළමුවන දේවදූතයා නුදුටුයෙහිද?’ යනු වෙනි, හෙතෙම (කෙසේද) ‘ස්වාමීනි, නුදුටුයෙමියි’ කියයි. මහණෙනි, යමරජ තෙම මෙසේ කියයි, එම්බල පුරුෂය තෝ මනුෂ්‍යයන් අතරෙහි ඉපදීමෙන් අසූ වයස් ඇත්තාවූ හෝ අනූ වයස්වූ හෝ අවුරුදු සියයක් ගියාවූ හෝ ජරාවට ගියාවූ ගොනැස්සක් සේ වක්වූ මැදින් බිඳුනාවූ සැරයටිය පිහිටකොට ඇත්තාවූ වෙවුලමින් යන්නාවූ ජරාවෙන් ආතුරවූ ඉක්මගිය තරුණ වයස් ඇත්තාවූ කැඩුනාවූ (වැටුනාවූ) දත් ඇත්තාවූ පැසුනු කෙස් ඇත්තාවූ ඉදිරීගිය කෙස් ඇත්තාවූ මුඩුවූ හිස ඇති ඇඟ රැළිවැටුණාවූ තල කැලලින් යුත් සිරුර ඇත්තාවූ ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ නුදුටුයෙහිදැයි’ කියායි. හෙතෙම ‘ස්වාමීනි දුටුයෙමියි’ කියයි.
“මහණෙනි, යම රජතෙම ඔහුට මෙසේ කියයි. ‘එම්බල පුරුෂය නුවනැත්තාවූම වැඩිවිය පැමිණි තට මේ සිත නොවීද, ‘මමද ජරාව ස්වභාවකොට ඇත්තෙක් වෙමි. ජරාව නොඉක්මවූයෙක් වෙමි. එබැවින් මම කයින්ද වචනයෙන්ද සිතින්ද යහපතක් කරමියි’ කියායි. ස්වාමීනි, හෙතෙම නොහැකිවූයෙමි. ප්‍රමාද උනෙමියි’ කියයි.
“මහණෙනි, යමරජ තෙමේ ඔහුට මෙසේ කියයි. ‘එම්බල පුරුෂය, ප්‍රමාදවූ බැවින් කයින් වචනයෙන් සිතින් යහපත් ක්‍රියා නොකෙළෙහිය. එම්බා පුරුෂය එහෙයින් ඒ ප්‍රමාදවූවාහුට යම්සේද තට එපරිද්දෙන් කරන්නෙමියි’ කියායි. ඒ මේ පාපකර්මය වනාහි මව් විසින් නොකරණ ලද්දේය. පියා විසින් නොකරණ ලද්දේය. සහෝදරයා විසින් නොකරණලද්දේය. නැගණිය විසින් නොකරණ ලද්දේය. මිත්‍රයන් යහළුවන් විසින් නොකරනලද්දේය සහ ලේ නෑයන් විසින් නොකරණ ලද්දේය. දේවතාවන් විසින් නොකරණ ලද්දේය. මහණ බමුණන් විසින් නොකරණලද්දේය. තා විසින්ම මේ පාපකර්මය කරණලද්දේය. මේ පාපකර්මයාගේ විපාකය තෝ විඳින්නෙහිය කියායි.
“මහණෙනි, යමරජ තෙම පළමුවන දේවදූතයා දක්වා කරුණු සහිතව පිළිගන්වා කරුණු විමසා කියාදී කරුණු ගන්වා කියාදී දෙවෙනි දේවදූතයා පැහැදිළි කරන්නේය, කරුණු පිළිගන්වමින් අසන්නේය. කරුණු විමසමින් අසන්නේය ‘පුරුෂය, තෝ මනුෂ්‍යයන් අතරෙහි පහළවූ දෙවෙනි දෙවදූතයා නොදැක්කෙහිදැයි’ අසයි. හෙතෙම ‘ස්වාමීනි නැතැයි’ කියයි. මහණෙනි, ඔහුට යමරජ තෙම ‘එම්බල පුරුෂය තෝ මනුෂ්‍යයන් අතරෙහි ව්‍යාධියෙන් පීඩිතවූ දුකට පැමිණියාවූ දැඩි ගිලන් බැව් ඇත්තාවූ ස්වකීය මළ මූත්‍රයෙහි සයනය කරන්නාවූ අන්‍යයන් විසින් නැගිටුවනු ලබන්නාවූ අනුන් විසින් නිදිකරවන්නාවූ ස්ත්‍රියක් හෝ පුරුෂයෙකු නුදුටුයෙහිදැයි’ අසයි. හෙතෙම ‘දුටුවෙමි ස්වාමීනියි’ කියයි මහණෙනි, යමරජ තෙම ඔහුට ‘එම්බල පුරුෂය, මහළුවූ නුවණැතිවූ, ඒ තොපට මමද ව්‍යාධිය ස්වභාවකොට ඇත්තෙක් වෙමි. ව්‍යාධිය නොඉක්මවූයෙමි. දැන් කයින් වචසින් මනසින් යහපතක් කරමියි මෙබඳු සිතක් නොවූයෙහිදැයි’ අසයි. හෙතෙම ‘ස්වාමීනි, නොහැකිවූයෙමි ප්‍රමාදවූයෙමියි’ කියයි.
(මේ ඡෙදය මේ සූත්‍රයේ 3 වෙනි ඡෙදය මෙනි)
“මහණෙනි, යමරජ තෙම ඔහුට දෙවෙනි දෙවදූතයා දක්වා කරුණු සහිතව පිළිගන්වා කරුණු විමසා කියාදී ‘තුන් වෙනි දෙවදූතයා නොදැක්කෙහිදැයි’ අසයි. හෙතෙම ‘ස්වමීනි, නැතැයි’ කියයි. මහණෙනි, ඔහුට යමරජ තෙම ‘එම්බල පුරුෂය, තෝ මනුෂ්‍යයන් අතරෙහි මැරී එක් දවසක් ගිය මැරී දෙදවසක් ගිය, මැරී තුන් දවසක් ගිය, කැතට ඉදිමුණු, කැතට නිල්වූ, විශෙෂයෙන් සැරව වැගිරෙන, ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ නොදැක්කෙහිදැයි’ අසයි. හෙතෙම දුටුවෙමි ස්වාමීනියි’ කියයි.
“මහණෙනි, ඔහුට යමරජ තෙම එම්බල පුරුෂය, මහළුවූ නුවණැතිවූ ඒ තොපට මමද මරණය ස්වභාවකොට ඇත්තෙමි. මරණය නොඉක්මවීමි. දැන් කයින් වචනින් මනසින් යහපතක් කෙරෙමියි මෙබඳු සිතක් නොවූයෙහිදැයි’ අසයි. හෙතෙම
“ස්වාමීනි නොහැකිවූයෙමි ප්‍රමාදවූයෙමියි’ කියයි.
(මේ ඡෙදය මේ සූත්‍රයේ 3 වෙනි ඡෙදය මෙනි.)
“මහණෙනි, යමරජ තෙම ඒ තුන්වෙනි දේවදූතයා පැහැදිලිකොට කරුණු පිළිගන්වමින් අසා කරුණු විමසමින් අසා නිශ්ශබ්ද වෙයි.
“මහණෙනි, ඔහුට නිරය පාලයෝ පඤ්චවිධ බන්ධනය නම්වූ වධයක් කෙරෙත්. රත්වූ යකඩ හුලක් අතෙහි ගසත්. රත්වූ යකඩ හුලක් දෙවැනි අතෙහි ගසත්. රත්වූ යකඩ හුලක් පයෙහි ගසත්. රත්වූ යකඩ හුලක් දෙවෙනි පයෙහි ගසත්. රත්වූ යකඩ හුලක් උරමැදෙහි ගසත්. එහි හෙතෙම දුක්වූ තියුණුවූ කෲරවූ වේදනාවන් විඳී. යම්තාක් ඒ පාපකර්මය විනාශනොවේද, ඒතාක් කළුරිය නොකෙරෙයි. නිරයපාළයෝ ඔහු බිම පෙරලා කෙටේරි වලින් සසිත්.
‘මහණෙනි, ඔහු නිරයපාලයෝ පා උඩුකුරුකොට හිස යටිකොට තබා වෑ වලින් සසිත්. ඔහු නිරය පාලයෝ රථයෙහි යොදා ගින්නෙන් දිලිසෙන්නාවූ වෙසෙසින් ඇවිල පවත්නාවූ ගිනි සහිතවූ භූමියෙහි ඉස්සරහට යාමද කරවත්. පස්සට යාමද කරවත්. මහණෙනි, ඔහු නිරය පාලයෝ ගින්නෙන් දිලිසෙන්නාවූ වෙසෙසින් ඇවිල පවත්නාවූ ගිනි සහිතවූ මහත්වූ මහා කුලුගෙයක් පමණවූ අඟුරු පව්වට නැංවීමද කරවත්. බැස්වීමද කරවත්. මහණෙනි, ඔහු නිරය පාලයෝ පා උඩුකුරුකොට හිස යටිකුරුකොට කකියන්නාවූ ලොහො සැලියෙක්හි දමත්. හෙතෙම එහි පෙන නඟමින් පැසෙයි. හෙතෙම එහි පෙන නගමින් පැසී වරක් උඩට එයි, වරක් යටට යෙයි, වරක් සරසට යයි. හෙතෙම එහි දුක්වූ දරුණුවූ, කටුකවූ වේදනාවන් විඳියි. යම්තාක් ඒ පාපකර්මය නොගෙවේද, ඒ තාක් කළුරිය නොකරයි. මහණෙනි, යමපල්ලෝ ඔහු මහා නරකයෙහි දමත්. මහණෙනි, ඒ මහා නරකය.
(1) සිව් කොණක් ඇත්තේය. සිව් දොරටුවක් ඇත්තේය, කොටස් වශයෙන් බෙදන ලද්දේය, එසේම ප්‍රමාණ කරණ ලද්දේය, යකඩ ප්‍රාකාරයකින් වට කරණ ලද්දේය, යකඩ පියනකින් වසන ලද්දේය.
(2) ඒ නිරයෙහි බිම යකඩයෙන්ම කරන ලදී. දැල්වෙන ගින්නෙන් යුක්තය. හැමකල්හි හාත්පසින් සියක් යොදුනක් ගින්න පැතිරගෙණ සිටී.
“මහණෙනි, පූර්වකාලයෙහි යමරජහට මෙබඳු අදහසක් විය. පින්වත්නි, ලෝකයෙහි යම් කෙනෙක් ලාමකවූ කර්මයන් කෙරෙද්ද, ඔව්හු තුමූ මෙබඳුවූ නොයෙක් වධ කරණු ලබත් මම මිනිස් බවක් ලබන්නේ නම් අර්හත්වූ සම්‍යක් සම්බුද්ධවූ තථාගතයන් වහන්සේ ලෝකයෙහි උපදින්නාහු නම් ඒ භාග්‍යවතුන් වහන්සේ පයිරුපාසනය කරන්නෙම් නම් මට ඒ භාග්‍යවතුන් වහන්සේ දහම් දෙසත් නම් මමද ඒ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය දැනගන්නෙම් නම් යහපති කියායි. මහණෙනි, මම එය අන්‍යවූ ශ්‍රමණයෙකුගෙන් හෝ බමුණෙකුගෙන් හෝ අසා මෙසේ නොකියමි. මහණෙනි, යමක්ම මා විසින් තමාම අවබෝධ කරණ ලද්දේද, තමාම දක්නා ලද්දේද, තමාම දැනගන්නා ලද්දේද, එයම මම කියමියි” වදාළේය.
(1) දේවදූතයන් විසින් චොදනා කරන ලද යම් මනුෂ්‍ය කෙනෙක් ප්‍රමාද වෙත්ද ලාමකවූ ශරීරයක් ඇති බවට පැමිණ බොහෝ කාලයක් මුළුල්ලෙහි සෝක කෙරෙත්.
(2) මේ ලෝකයෙහි දේවදූතයන් විසින් චොදනා කරන ලද්දාවූ පණ්ඩිතවූ යම් සත්පුරුෂ කෙනෙක් වෙත්ද, ඔව්හු කිසිකලෙකත් ආර්‍ය ධර්මයෙහි ප්‍රමාද නොවෙත්.
(3) ජාතියට හා ජරා මරණයට කරුණුවූ තෘෂ්ණා දෘෂ්ටීන් දැඩිකොට ගැණීමෙහි බිය දැක ජාති මරණ සංඛ්‍යාත නිර්වාණයෙහි උපාදාන වශයෙන් නොගෙන මිදෙත්.
(4) අප්‍රමාද විහරණ ඇත්තාවූ සුවපත්වූ මේ ආත්මයෙහිම නිවුනාවූ සියලු වෛර භය ඉක්මවූ ඒ සත්පුරුෂයෝ වනාහි සියලු දුක් ඉක්මවූවාහුයයි (වදාළේය)”
මේ උතුම් සඳහම් ලිපිය කියවීමට හෝ බෙදා හැරීමට කැමති පිංවතුන් 0725400094 අංකයට වට්ස් ඇප් පණිවිඩයක් යොමු කරන්න.
දිනපතා මෙවැනි උතුම් සඳහම් ලිපි කියවීමට හෝ බෙදා හැරීමට කැමති පිංවතුන්ට අපගේ සඳහම් සමූහය සමඟ එක් විය හැක.
chat.whatsapp.com/LDw0pu6WqhrFcZFxMuHxJu
මෙවැනි වටිනා සඳහම් ලිපි එකතුවකින් යුතු අපගේ නිල වෙබ් පිටුවට පිවිසෙන්න
pansilmaluwa.lk
තෙරුවන් සරණයි
30 - 2
නමොතස‍්ස භගවතො අරහතො සම‍්මා සම‍්බුද‍්ධස‍්ස
"තීණිමානි භික‍්ඛවෙ සඤෙඤජනානි දස‍්සනෙන පහාතබ‍්බා. කතමානි තීණි? සක‍්කායදිට්ඨි, විචිකිච‍්ඡා, සීලබ්කබතපරාමාසො ති"
සදා පූජනීය, වන්දනීය මහා සංඝරත්නයෙන් අවසරයි, ශ්‍රද්ධා බුද්ධි සම්පන්න කාරුණික පින්වතුනි, මේ පින්වත් හැමදෙනාම බොහොම ශ්‍රද්ධාවෙන් ගෙවල් දොරවල්වල නොයෙක් කටයුතු කාරණා තිබුනත්, ඒ හැමදෙයක්ම පැත්තකින් තබලා, තුණුරුවන් කෙරෙහි සැදැහි සිත් ඇති කරගෙන, විශ්වාසය තබාගෙන මේ දුක් සහගත සසරෙන් එතෙර වෙන්නට මෙය පාරමිතාවක් වේවා කියන අදහස් ඇතුව හැමදෙනාම මේ සේනාසනයට පැමිණිලා අද පොහොය දවසේ සිල් සමාදන් වුනා. ඒ සිල් සමාදන් වෙලා බලාපොරොත්තු වෙන්නේ, උත්සාහවත් වෙන්නේ අද දවස පුරාවටම ඒ ලොවුතුරා බුදුරජාණන් වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කළ ධර්මය අහලා තේරුම් අරගෙන, ඒ වගේම ප්‍රතිපත්ති වශයෙන් ඒ ධර්මය තුල හැසිරෙන්නට.
පහුගිය කාල පරිච්ඡේදය තුල අපි ටිකක් කතා කළා, සතිපට්ඨාන භාවනා කරන ආකාරය ගැනත් ඒ අනුව ටිකක් පුරුදු පුහුණුත් වුනා. ඒ දිහා ටිකක් නුවණින් බලනකොට පිටකය තුලින්, පෙළ දහම තුලින් පොඩි කාරණාවක් මතක් වුනා. මේ සතිපට්ඨාන භාවනාව නැත්නම් සතර සතිපට්ඨානය වඩන්න ක්‍රම දෙකක් තියෙනවා.
1. ලෝකෝත්තර මාර්ග අංගයක් නොවී, සාමාන්‍ය විදිහට වැඩෙන ක්‍රමය.
2. විවේක නිශ්‍රිත, විරාග නිශ්‍රිත, නිරොධ නිශ්‍රිත, වොස්සග්ග පරිනාම කොට (නිවනට නැඹුරු වූවාක් කොට) සතර සතිපට්ඨානය වඩන එක.
සතර සතිපට්ඨානය විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවනට නැඹුරු වූවාක් කොට වඩන්නේ කොහොමද කියන කාරණාවයි අද මම පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න හදන්නේ. මම කලින් මාතෘකා කලේ වෙනත් දහම් පාඨයක්. ඒකට හේතුව තමයි ඉස්සෙල්ලාම කල්‍යාණ මිත්‍ර ඇසුර, සද්ධර්ම ශ්‍රවණය තුලින් බුදුරජාණන් වහන්සේ දේශනා කළ දර්ශනය අහගන්නට ඕනේ. ඒ දර්ශනයට තමයි සක‍්කායදිට‍්ඨි, විචිකිච‍්ඡා, සීලබ‍්බතපරාමාස කියන මේ කෙළෙස් ටික ප්‍රහාණය වෙන්නේ. ඒ දර්ශනය අහලා දැනගත්ත කෙනා, ඒ දර්ශනය පිරෙන විදිහට සතර සතිපට්ඨානය වඩන එකටයි විවේක නිශ්‍රිත, විරාග නිශ්‍රිත, නිරොධ නිශ්‍රිත, නිවනට නැඹුරු වූවාක් කොට සතර සතිපට්ඨානය වඩනවා කියලා කියන්නේ.
මම මේ ටික එකෙන් එකට පැහැදිලි කරලා දෙන්නම්. අද කතා කරන දහම් කරුණු ටිකක් ගැඹුරුයි. ඒ හින්දා මුලින්ම මතක් කරනවා ඉතාමත්ම උවමනාවෙන්, ඕනෑකමින් වචනයක්වත් අපතේ යවන්නේ නැතුව හොඳට මේ කියන දේ තේරුම් ගන්න හිත් යොමු කරන්න කියලා. එක චුට්ටක් හෝ හිත අහකට ගියොත් තේරෙන්නේ නැතිවෙයි. ගොඩාක් වටිනා ටිකක් කියලා දෙන්න යන්නේ. අනන්ත සංසාරෙක අපි හැමදෙනාටම මේ තරම් දුරක් එන්න වුනේ මේ දර්ශනය කියන ධර්මතාවය දැකීමෙන් දුරුවෙන සක‍්කායදිට‍්ඨි, විචිකිච‍්ඡා, සීලබ‍්බතපරාමාස කියන මේ කෙළෙස් ටික අයින් කරගන්න බැරිවෙච්ච නිසා. අද හොඳට අහගෙන හිටියොත්, ඒ ටික බොහොම පහසුවෙන් ගෙවා ගන්න පුළුවන් පරිසරයක් කියලා දෙනවා.
අන්න ඒ ටික අහගත්ත කෙනා සතර සතිපට්ඨානය වඩනකොට අන්න අර ඉහත කිවුව කෙළෙස් ගෙවෙනවා. ඒ දර්ශනය දකින්නේ නැතුව සතර සතිපට්ඨානය වැඩුවා කියලා හිත සමාධි වෙනකොට එයාට දකින්න දර්ශනයක් හම්බ වෙන්නේ නැහැ.සම්මා දිට්ඨිය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. මාර්ග සම්මා දිට්ඨිය හා ඵලය සම්මා දිට්ඨිය කියලා.
**ඵලය සම්මා දිට්ඨිය යනු :-
දුක්‌ඛෙ ඤාණං, දුක්‌ඛසමුදයෙ ඤාණං, දුක්‌ඛනිරොධෙ ඤාණං, දුක්‌ඛනිරොධගාමිනියා පටිපදාය ඤාණං. මේ ටික දකින කොට තමයි කෙලෙස් ටික පිළිවෙලින් ප්‍රහාණය වෙන්නේ. සක‍්කායදිට‍්ඨි, විචිකිච‍්ඡා, සීලබ‍්බතපරාමාස - (සෝවාන් ඵලයේදී)
ඒ වගේම ඖදාරික කාමරාග, පටිඝ - (සකෘදාගාමී ඵලයේදී), අවශේෂ කාමරාග පටිඝ (අනාගාමී ඵලයේදී) රූපරාග, අරූප රාග, මාන, උද්දච්ච, අවිජ්ජා (රහත් ඵලයේදී ) කියන සංයෝජන ගෙවෙන්නේ ඵලය සම්මදිට්ඨියේ දී.
**මාර්ග සම්මා දිට්ඨිය :-
හැබැයි ඒ ඵලය සාක්ෂාත් කරගැනීම සඳහා මාර්ගයක් තියෙනවා. ඒ මාර්ගය තුලත් දර්ශනයක් තියෙනවා. ඒකට කියනවා මාර්ග සම්මා දිට්ඨිය කියලා.
මේ කාරණාව මතක් කළේ අපි මේ කාරණා දෙක පටලවා ගන්නවා. මාර්ග සම්මා දිට්ඨියේදී ස්කන්ධයන්ගේ ඇත්තක් පෙන්නුවට ඒක මේ ශාසනයේ දර්ශනය නෙමෙයි. ඵලය සම්මා දිට්ඨියයි හැම වෙලාවකම මේ ශාසනයේ පෙන්වන දර්ශනය. සියළු කෙලෙස් දුරුවෙන, දස සංයෝජනයන් දුරුවෙන දර්ශනය හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ ඵලය සම්මා දිට්ඨියයි. ඵල සම්මා දිට්ඨිය කියලා කියන්නේ මේ දුක, මේ දුක ඇතිවීම, මේ දුක නැතිවීම, මේ දුක නැති කරන මඟයි කියලා දකින එකයි. ඕකට තමයි සියළු කෙලෙස් දුරුවෙන්නේ.
ඊටපස්සේ මේ දුක, මේ දුක ඇතිවීම, මේ දුක නැතිවීම, මේ දුක නැති කරන මඟයි කියලා දැක්කට පස්සේ මාර්ගය කියන්නේ මොකක්ද කියලා කියන තැනකදී, - රූපය අනිත්‍ය විදිහට දකින එකත් ඇත්තක්. දුක් විදිහට දකින එකත් ඇත්තක්. අනාත්ම විදිහට දකින එකත් ඇත්තක්, පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුවම නැතිවෙනවා කියන එකත් ඇත්තක්. හැබයි ඒ ඇත්ත ස්කන්ධ, ධාතු, ආයතනයන්ගේ ඇත්තක්. ස්කන්ධ, ධාතු, ආයතනයන්ගේ ඇත්ත දකින එක දර්ශනයක් වුනාට ඒක මාර්ග සම්මා දිට්ඨිය. ඒ මාර්ගය වඩන්න වඩන්න කෙළෙස් අඩුවෙනවා. කෙළෙස් අඩුවෙලා චතුරාර්ය සත්‍යය පෙනෙනවා.එතකොට තමයි ආශ්‍රවයන්ගෙන්, කෙළෙසුන්ගෙන් මනස මිදෙන්නේ.
අපි මේ විදිහට සතිපට්ඨානය වැඩුවා කියලා කෙලෙසුන්ගෙන් ආශ්‍රවයන්ගෙන් අපේ මනස මිදෙන්නේ නැහැ. සතිපට්ඨානය වඩන කොට "විනෙය්‍ය ලොකෙ අභිජ‍්ඣාදොමනස‍්සං" - ලෝභ, ද්වේශ දෙක අඩුවෙනවා, හික්මෙනවා, සංසිඳෙනවා. ලෝභ ද්වේශ දෙක අඩුවෙන්න අඩුවෙන්න අපේ හිත සමාධි වෙනවා, නීවරණ ධර්ම දුරුවෙනවා. හිත සමාධි වෙනකොට, නීවරණ ධර්ම දුරුවෙන කොට අන්න අර "දුක්‌ඛෙ ඤාණං, දුක්‌ඛසමුදයෙ ඤාණං, දුක්‌ඛනිරොධෙ ඤාණං, දුක්‌ඛනිරොධගාමිනියා පටිපදාය ඤාණං" කියන චතුරාර්‍ය සත්‍යය අවබෝධ වෙන්න ඕනේ. අන්න ඒ අවබෝධය තුළිනුයි කෙලෙස් අනුසය දුරුවෙන්නේ.
අපි සතර සතිපට්ඨානය වඩන්නේ හිත සමාධි කරගන්න. හිත සමාධි කරගන්නේ ඇයි? මේ ශාසනයේ පෙන්වන දර්ශනය දකින්න. "සහාවස්ස දස්සන සම්පදාය තයස්සු ධම්මාජහිතාභවන්ති සක්කායදිට්ඨි විචිකිච්ඡීතඤ්ච සීලබ්බතංවා " - ඔහුගේ ඒ දර්ශන සම්පත්තියත් හා සමගම ධර්මතා තුනක් දුරුවෙනවා. සක‍්කායදිට‍්ඨි, විචිකිච‍්ඡා, සීලබ‍්බතපරාමාස. ඒ දර්ශනයත් සමගම සංයෝජන තුනක් දුරුවෙනවා කියන තැනදී, ඒ දර්ශනය කියලා පෙන්නුවේ රූපයේ ඇත්ත දැකීම නිසා නෙමෙයි, මේ දුක, මේ දුක ඇතිවීම, මේ දුක නැතිවීම, මේ දුක නැති කරන මඟයි කියන මේ චතුරාර්ය සත්‍යය දකින එක.
චතුරාර්ය සත්‍යය අහලා දැනගත්ත කෙනා, ඒ චතුරාර්ය සත්‍යය අවබෝධය සාක්ෂාත් කරගැනීමට, පිරවීමට යන ගමන් මාර්ගය අයිති සීල, සමාධි, ප්‍රඥා. සීලයක පිහිටලා සතර සතිපට්ඨානය වඩලා හිත සමාධි කරලා මෙන්න මේ දර්ශනය නුවණින් දැක්ක යුතුයි. එතකොට තමයි සියළු කෙලෙසුන්ගෙන්, ආශ්‍රවයන්ගෙන් මනස මිදෙන්නේ. මම අද දවසේදී මුලින්ම ඕගොල්ලොන්ට ගොඩාක් වටිනා කාරණාවක් කියලා දෙනවා. වෙනදා කතා කරපු ධර්මයන්ට චුට්ටක්වත් වෙනස් හෝ පරස්පර නැහැ. ඒ කියපු කාරණා එකක්වත් වැරදිත් නැහැ, ඕනේ නැත්තෙත් නැහැ. ඒ ටික ඕනෙමයි. ඒ ටිකට තව අළුත් කාරණාවක් උගන්වනවා. වෙනදා කරපු භාවනාව කරමින් අළුතෙන් තව හිතන්න පැතිකඩක් අරගෙන දෙන එකයි මම මේකෙන් කරන්නේ අන්තිමට.
කෙටියෙන් කිවුවොත් ඉස්සෙල්ලා ඒවා වැරදි, ඒවා ඕනේ නෑ කියන එක නෙමෙයි. ඒවා ඕනේමයි, ඒක කටයුතුමයි, එහෙම කරමින් තව කටයුතු පැතිකඩක් තිබුනා කියන එකයි කෙටියෙන් ගත්තහම කියන්න තියෙන්නේ. ඒ ටිකත් කළහම සම්පුර්ණ වෙනවා. සතිපට්ඨානය වඩමින් නුවණින් මෙනෙහි කටයුතු ධර්මතාවයක් තියෙයි. ඒ තමයි චතුරාර්ය සත්‍යය අවබෝධ වෙන විදිහට පටිච්චසමුප්පාදය මෙනෙහි කටයුතුයි. ඒ ටිකයි මම අද අල්ලලා දෙන්න හදන්නේ ඕගොල්ලොන්ට. පටිච්චසමුප්පාදය මෙනෙහි කරමින් සතර සතිපට්ඨානය වඩන එකට තමයි විවේක නිශ්‍රිත, විරාග නිශ්‍රිත, නිරොධ නිශ්‍රිත, වොස්සග්ග පරිනාම කොට සතර සතිපට්ඨානය වඩනවා කියලා කියන්නේ.
මම මෙච්චර වෙලා කතා කරපු මේ කරුණු, මේ වටපිටාව තේරුනේ නැත්නම්, පැහැදිලි මදි වගේ කියලා හිතනවා නම් ඒ ඔක්කොම අතහරින්න. මම මේ දැන් කියන කාරණා ටික හොඳට ග්‍රහණය කරගන්න. ආපහු කැරකිලා ඕගොල්ලොන්ට ලොකු නුවණක් එක්කම අර කතා කරපු ටිකටම එයි.
මතුසම්බන්ධයි
පූජ්‍යපාද මාන්කඩවල සුදස්සන ස්වාමීන්වහන්සේ විසින් 2019 වප් පොහොය දින ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනයේදී පටිච්චසමුප්පාදය ඇසුරෙන් කරන ලද ඉතා වටිනා දේශනාව ඇසුරෙන් පිටපත් කිරීමකි.
මේ උතුම් සඳහම් ලිපිය කියවීමට හෝ බෙදා හැරීමට කැමති පිංවතුන් 0725400094 අංකයට වට්ස් ඇප් පණිවිඩයක් යොමු කරන්න.
දිනපතා මෙවැනි උතුම් සඳහම් ලිපි කියවීමට හෝ බෙදා හැරීමට කැමති පිංවතුන්ට අපගේ සඳහම් සමූහය සමඟ එක් විය හැක.
chat.whatsapp.com/LDw0pu6WqhrFcZFxMuHxJu
මෙවැනි වටිනා සඳහම් ලිපි එකතුවකින් යුතු අපගේ නිල වෙබ් පිටුවට පිවිසෙන්න
pansilmaluwa.lk
තෙරුවන් සරණයි
66 - 9
පින්වතුනි, බුදුරජාණන්වහන්සේ සසර දුකයි, ජීවිතය දුකයි කියලා කියන්නේ, කන්න මොකුත් නැතුව බඩගිනි හැදෙන දුක නිසා නොවේ. වතුර ටිකක් නැතුව පිපාසය නිසා එන දුක නිසා නොවේ. කන් කැක්කුමක්, දත් කැක්කුමක්, බඩේ කැක්කුමක් නිසා එන දුක නිසා නොවේ. කෙටියෙන්ම කියනවානම් මේ මනුෂ්‍ය ලෝකයේ මනුෂ්‍යයන් විඳින කිසිම දුකක් සසර තියෙන දුක් වලට සාපේක්‍ෂව, ‘දුකයි’ යන ගණයට යන්නේ නෑ.
මම ඕකට පොඩි කතාවක් ඔය පින්වතුන්ට කියන්නම්. පින්වතුනි බුදුරජාණන්වහන්සේ වැඩ ඉන්න කාලේ විශාලා මහනුවර රජකම් කළේ ලිච්ඡවී රජවරුයි. එතැන සමූහ ආණ්ඩුවක් තිබුණා. හත්දහස් හතක් රජවරු හිටියා. එක ප්‍රදේශයක රජකම් කළා අම්බසක්කර කියලා රජකෙනෙක්. මේ අම්බසක්කර රජ්ජුරුවන්ගේ රාජ්‍ය ප්‍රදේශයේ නගර මධ්‍යයේ බොහෝ වෙළඳසැල් තිබුණා. එක වෙළඳසැලක් තියෙනවා, මේ වෙළෙඳසැල් හිමියා හරිම දැහැමියි, හරිම ගුණයහපත්. කිසිම වෙලාවක කිසිම කෙනෙකුගේ හිත රිදෙන වචනයක් කතා කරන කෙනෙක් නොවේ. හැමෝ කෙරෙහිම ප්‍රිය වූ මනාප වූ ගතියකින් තමයි කටයුතු කරන්නේ.
මේ වෙළඳසැල ඉස්සරහා මඩ වගුරක් තියෙනවා. වෙළඳසැලේ ඉන්න වෙළඳ මහත්තයට පේනවා බොහෝ දෙනෙක් හොඳට ඇඳ පැළඳගෙන එනවා, අනේ මේ මඩ විසිවෙලා මඩ තැවරිලා ඇඳුම් පැළඳුම් ජරා වෙනවා. සමහර අය මඩ වලේ ලිස්සලා වැටෙනවා. ඉතින් මෙයා මොකද කරන්නේ, ගෙදර ඉඳලා උදේ ආපනශාලාවට එද්දී, මග තිබුණා ගවයෙක්ගේ ඔළුවක්. හරකෙක් මැරිලා සුදුපාට වුන ඔළු කට්ටක්. ඒ ඔළු කට්ට ගෙනැල්ලා මඩ වල මැද්දට දැම්මා, මේක පාගාගෙන මනුෂ්‍යයන්ට එතෙර වෙන්න පුළුවන්නේ කියලා. ඉතින් මනුෂ්‍යයෝ බොහෝ දෙනෙක් ඇඳුම්වල මඩ තැවරෙන්නේ නැතුව, ගව හිසට අඩිය තියලා එතෙරට යනවා.
මේ ආපනශාලා හිමියාගේ ඥාති පුත්‍රයෙක් හිටියා, සහෝදරියකගේ පුතෙක්, බෑණා කෙනෙක්. මෙයා ලොකුයි. පසුකාලේදි සූදුවට ඇබ්බැහි වෙලා, තියෙන දේවලුත් විනාශ කරලා, හොරු කණ්ඩායමකට එකතු වෙලා. දැන් මුදල් නැති නිසා හොරකමේ යන්නගත්තා. ආපනශාලාවේ ඉන්න ආපනශාලා හිමියා, මාමා, මේ මොකුත් දන්නේ නෑ. එයා බොහෝම දැහැමි කෙනෙක්. අර ඥාති පුත්‍රයා, මොකද කරන්නේ, හොරකමේ ගිහිල්ලා,ගෙවල් බිඳලා, බඩුමුට්ටු ගෙනැල්ලා, මෙයාට හම්බවෙන කොටස හංගන්නේ මාමාගේම ගෙදර පැත්තක යි. මාමා මේ මොකුත් දන්නේ නෑ.
ඉතින් දවසක් ඔය වගේ හොරකමේ ගියහම, රාජපුරුෂයන්ට අහුවෙනවා. ඔක්කොම හොරු පැනලා යනවා, ආපනශාලා හිමියාගේ ඥාති පුත්‍රයා හසුවෙනවා. බඩුත් එක්ක හසුවෙලා ගහනකොට තියෙන අනිත් බඩුත් පෙන්නනවා අර ගෙදරට එක්කගෙන ඇවිල්ලා. පෙන්නුවහම රාජපුරුෂයෝ හිතනවා මේ ආපනශාලා හිමියාත් මේකට අනුග්‍රහය දක්වලා තියෙනවා කියලා එයාවත් අල්ලාගෙන යනවා. රජ්ජුරුවෝ මොකද කරන්නේ, ආපනශාලා හිමියාගේ හිසගසා මරලා දමන්න නියම කරනවා. එයාගේ ඥාති පුත්‍රයා බලවත් වැරදිකාරයා නිසා එකවර මරන්නේ නෑ. හොඳට කෝටුවක් උල්කරලා, උලතියන්න, උල උඩ ඉන්දවන්න නියමකළා. ඒ කියපු විදිහට රාජපුරුෂයෝ ආපනශාලා හිමියාගේ හිසගසා දැම්මා. එයා මැරුණා. එයාගේ ඥාති පුත්‍රයාව සොහොනට ගෙනිහිල්ලා උල තිබ්බා. උලේ කට්ට බේරලා තියෙන්නේ, දවසින් දවස, ටිකෙන් ටික, ශරීරය පසාරු කරගෙන යන්න. එතකොට කෘරවූ, කටුක වූ, තියුණු වූ, දුක් වේදනාවන් විඳිනවා. විඳලා තමයි මැරෙන්නේ.
මේ විදිහට උල උඩ තිබ්බහම, උල උඩ ඉන්න මේ මනුෂ්‍යයා හැම වෙලාවේම හිතනවා, ‘අනේ මාව මැරෙන්නේ නෑනේ. අනේ මාව මැරෙන්නේ නෑනේ. මේ දුක ඉවරයක් වෙන්න ඉක්මනට මැරෙනවානම්. මේ දුක විඳ විඳ ඉන්න බෑ තවත්. අනේ මාව මැරෙනවා නම්’ කියලා හිතින් මරණය ප්‍රර්ථනා කරනවා.
අර ආපනශාලා හිමියා බොහොම දැහැමි කෙනෙක්නේ. එයා මැරිලා ගිහිල්ලා විමාන දෙවියෙක් වෙලා උපන්නා. අර මිනිස්සුන්ට මඩ පෑගෙන්නේ නැති වෙන්න මඩ වලට ගව හිසක් දාපු එකේ කුසලයට එයාට දිව්‍යමය අජානීය වෘෂභයෙක් පහළ වුණා. උඩින් යන්න පුළුවන්, ඍද්ධියෙන් යන්න පුළුවන්, වෘෂභ වාහනයකින් තමයි දැන් එයා යන්නේ. හැබැයි එයා තරුණකාලේ යාළුවොත් එක්ක නාන්න ගිහිල්ලා, හොරකමටත් නොවෙයි, කෙළි පිණිස සෙල්ලමට යාළුවන්ගේ ඇඳුම් හංගලා තියෙනවා. දෙවියෙක් වෙලා හොඳ දිව්‍ය වාහනයකුත් තියෙනවා නමුත්, ඒකේ අකුසලයට ඇඳුම් නෑ, නිර්වස්ත්‍රයි. අර ලෝවැඩ සගරාවේ තියෙන්නේ
කෙළියට කඩක් සගවා යහළුවකුගෙනේ
හෙළිකොට නැවත දුන් මිනිසෙකුට මෙතෙකිනේ
විළිවැස්මක් නො ලදිය දෙවි වෙලත් අනේ
කෙළි යටවත් නො කරව් සොරකමක් දැනේ
කියලා. එතකොට මෙන්න මේ ඒ දෙවියා තමයි. ඇදුම් නෑ.
ඉතින් මේ ඥාති පුත්‍රයා උල උඩ ඉඳගෙන මරණය නිතරම ප්‍රාර්ථනා කරන බව අර දෙවියාට තේරෙනවා. දෙවියාට මෙයාගේ හිත කියන්න පුළුවන්. මෙයා මොකද කරන්නේ, දවස දවස ගානේ ඇවිල්ලා, ඥාති පුත්‍රයා ලඟට ඇවිල්ලා, “දරුවා මැරෙන්න හිතන්න එපා. ජීවත්වෙන්න හිතන්න. අනේ මාව ජිවත් වෙන්නේ නෑ නේ, මම කොහොමද ජිවත් වෙන්නේ කියලා හිතන්න. ජිවත්වීම ප්‍රර්ථනා කරන්න. ඔබගේ මරණයට වඩා ජීවත්වීමම ඔබට දාහෙන් සම්පතක්. ඔබට ලාභයක්ම යි. ඒ නිසා උල උඩ හරි කමක් නෑ ජිවත් වෙන්න උත්සාහවත් වෙන්න” කියා කියා යනවා.
ඔය කාලයේ රජවරුන්ගේ සිරිතක් තිබුණා අප්‍රකට වේශයෙන් වෙස්වලාගෙන නගරයේ ඇවිදිනවා. රජ්ජුරුවන්ට හෝ රජයට හෝ මිනිස්සු දොස් කියනවාද, මොනවා හරි අලුත් අදහස් තියෙනවාද, යෝජනා තියෙනවාද කියලා බලන්න. ඉතින් මේ අම්බසක්කර රජ්ජුරුවොත් දවසක් රාත්‍රී කාලයේදි වෙස්වලාගෙන යනවා. ඔය සොහොන අයිනෙන් තමයි යන්නේ. යනකොට ශබ්දයක් ඇහෙනවා, මේ අර උල තිබ්බ හොරා ඉන්න තැන - “මැරෙන්න එපා ඔබ ජිවත් වෙන්න. මැරෙන්න හිතන්න එපා ජිවත් වෙන්න හිතන්න. මරණයට වඩා ඔබගේ ජිවත්වීම ශ්‍රේෂ්ඨයි කියලා”. රජ්ජුරුවෝ හෙමින් එතැනට ගිහිල්ලා අහනවා ඔබ කවුද? “මම අහවල් දිව්‍ය විමානේ ඉන්න දෙවියෙක්” කියනවා. රජ්ජුරුවෝ “පෙනෙන්න එන්න” කියනවා. “මට ඇදුම් නෑ, පෙනෙන්න එන්න බෑ නේ” කියලා ඒ දෙවියෝ කියනවා. “කමක් නෑ එන්න” කියලා රජ්ජුරුවෝ කියනවා. ඊට පස්සේ ඒ දෙවියෝ තමන්ව පෙන්නනවා.
ඊට පස්සේ රජ්ජුරුවෝ “මේ උල උඩ ඉන්න කෙනා ඔයාගේ හතුරෙක්ද” කියලා අහනවා. “උල උඩ ඉන්න මනුස්සයා මෙච්චර දුක් විඳිද්දී තව මැරෙන්න එපා ජීවත්වෙන්න කියන්නේ එයා දුක් විඳිනවා බලන්න එච්චර ඔයා කැමතිද? එයා එක්ක මෙච්චර වෛරද ඔයා?” කියලා අහනවා. ඊට පස්සේ කියනවා, “නෑ මේ උල උඩ ඉන්න කෙනාට මම ගොඩක් ආදරෙයි. මේ මගේ ඥාති දරුවෙක්. එයාට ආදරේ හින්දාමයි මැරෙන්න එපා ජීවත්වෙන්න” කියලා කියන්නේ. “ඒකට හේතුව මොකක්ද” කියලා රජ්ජුරුවෝ අහනවා. “මගෙන් ඒක මෙතැනදී අහන්න එපා. මෙයාගේ පණ බොහොම යන්තමින් තියෙන්නේ. පැත්තකට ගිහිල්ලා අහන්න මගෙන්” කියනවා. ටිකක් අහකට ගියහම කියනවා “මෙයා බැරිවෙලා මැරුණොත්, ගිහිල්ලා උපදින්නේ අවීචිමහ නරකයේ.ඒ අවීචිමහ නරකයේ විඳින දුකට සාපේක්‍ෂව, උල උඩ ඉන්නවා කියන්නේ දිව්‍ය ලෝකයක ඉන්නවා වගෙයි” කියලා.
මේ කතාව ගොඩක් දිගට තියෙනවා.මම මෙතෙන්දි කියන්න ගත්තේ පින්වතුනි එක දෙයක් දකින්න, කෙනෙක්ගේ පිටිපස්ස පැත්තෙන් පසාරුකරගෙන ශරීරය විනිවිද යන්න උලක් ඇන්නොත් මොනතරම් වේදනාවක් එයිද? ඒ වගේ වේදනාවක් කවුරුවත් විඳලා තියෙයිද? නෑ. එතකොට අපායට සාපේක්‍ෂව, අපායේ දුකට සාපේක්ෂව, අර තරම් වේදනාවකුත් දිව්‍ය ලෝකයක බඳුයි කියනවා.
ඒ උල උඩ ඉන්න මනුෂ්‍යයාත් ඉන්නේ සුගතියකයි. ඒක හොදට මතක තබාගන්න. උල උඩ ඉන්න මනුෂ්‍යයාත් ඉන්නේ සුගතියකයි. ඒකට කියන්නේ තවම සුගති කියලා, යහපත් ගතියක් කියලා. එතකොට දුගතිය කියන එක මොනතරම් ඇත්ද කියන කාරණාව මේ මොහොතදි පොඩ්ඩක් අනුමානෙට සිහිපත් කරගන්න.
බුදුරජාණන්වහන්සේ සසර දුකයි කියන්නේ, අපට මොහොතකට ඇතිවෙන බඩගින්න හින්දා නොවෙයි. කන්න බොන්න දෙයක් නැතිව ඇති දුප්පත්කම නිසා නොවෙයි. අඳින්න ඇඳුමක් නැතිකම නිසා නොවෙයි. සීත උෂ්ණ නිසා එන දුක නිසා නොවෙයි. එහෙම නැත්නම් කවුරුහරි බැනපු හින්දා නොවෙයි. කවුරු හරි ගහපු නිසා නොවෙයි. මේවා නොවෙයි පින්වතුනි, සසර දුක කියලා කියන්නේ. මේවා ඔක්කොම ‘සුගතියක තියෙන අපහසුකම්’ යන ගණයට යන්නේ. ඒද සුගතියක්. කෙනෙක් උපන් දවසෙම ඉඳලා උපන්ගෙයි ඉඳලම අතපය හතරම කොරවෙලා, මලමූත්‍ර ගොඩේ වැතිරිලා, මැරෙනකල්ම, අවුරුදු සීයක් ජිවත් වුනත් එයා ඉන්නේ සුගතියක කියලා මතක තබා ගන්න. ඉතින් දුගතිය කියන එක කොහොමද කියන එක හිතාගන්න.
සමහර ප්‍රේත නිකායයන් තියෙනවාලු, හරියට ගහක බෙනයක් ඇතුළේ හටගන්නා ගිනිදැල් වගේ. අභ්‍යන්තර ඇතිවෙන ගින්න, කුසගින්න, කියන එක දරාගන්න බෑ. නමුත් ඒ කුසගින්න නිවාගන්න සෙම, සොටු ටිකක්වත් නෑ. එහෙම අවුරුදු කෝටි ගණන් තියෙන ආත්මභාවයන් තියෙනවා. ඉතින් මේවා පින්වතුනි, භවයෙන් වැහිලා නිසා අපට පෙනෙන්නේ නැහැ. නමුත් බුදුරජාණන්වහන්සේලා ලෝකයේ පහළ වෙන්නේ සසර එබඳු දුකක් තියෙන නිසා යි, සසරගත ඉන්න සත්ත්‍වයෝ එබඳු දුකක් විඳින නිසායි.
පින්වතුනි, අද අපේ ජීවිතය මෙබඳු වුනාට අපි ඔය කිවුවේ තව ‘අහක ඉන්න නිරිසත්ත්‍වයෙක්’ ගැන නොවෙයි. හෙට දවසේ අපේ ඉරණම ගැන යි. හෙට දවසේ අපේ ජීවිතය ගැන යි. මේ පින්වතුන්ට මේ සසරේ ඉන්නකොට හැමදාම බුද්ධෝත්පාද කාල හම්බවෙන්නේ නෑ. හැමදාම සත්පුරුෂ ඇසුර හම්බවෙන්නේ නෑ. හැමදාම මනුෂ්‍ය ජීවිත ලැබෙන්නේ නෑ. මනුෂ්‍යයෙක් වුනත්, මේ යමක් හිතන්න පුළුවන් මේ වටපිටාව අපට හැමදාම හම්බවෙන්නේ නෑ.
පින්වතුනි, මේ විදිහට ඉපදෙමින් මැරෙමින් යන මේ සසරෙදි යනකොට සත්පුරුෂ කාලවලට වඩා අසත්පුරුෂ කාල වැඩියි. ඒ අසත්පුරුෂ කාලයක, අසත්පුරුෂ අදහස් ඇති පවුලක ඉපදුණොත් පින්වතුනි ‘ඉබේමයි’ අපි ඊට අනුගතව කටයුතු කරන්නේ. එතකොට අරවගේ අපායට යන කර්‍ම කෙරෙනවා කියන එක ඒ තරම් දෙයක් නොවෙයි. ඒ නිසායි මෙතැන තියෙන භය. ඒ නිසා යි මෙතැන අපි සංවේගය ඇතිකර ගන්න ඕනේ කියන කාරණාව මතක් කරනවා.
එබඳු වූ සසරෙන් එතෙර වෙන්න තියෙන එකම උපාය තමයි මේ සද්ධර්‍මය. ඒ නිසයි අපි සද්ධර්‍මය අහලා එතෙර වෙන්න උත්සාහවත් වෙන්න ඕනේ.
අද මේ කන්න බොන්න නැතිකම නිසා එන දුක, ඇඳුම් පැළඳුමක් නැතිකම නිසා එන දුක, ගෙයක් දොරක් නැතිකම නිසා එන දුක, දුකක් නොවෙයි. මේ සසරෙදි ඔයිට වඩා සතර අපායේ අපි දුක් විඳලා තියෙයි. පින්වතුනි, මම දවසක් දැක්කා හරකෙකුට කවුරුහරි කෙනෙක් පිටට කොටලා පිහියකින් හරි මන්නෙකින් හරි. පිටේ පණුවෝ ගහලා සුදුපාටට ඉහඳයෝ. හරකාට මේක එලවගන්න බැහැ. නැට්ටෙන් එහාට මෙහාට වනනවා. කපුටෙක් ඉඳගෙන, පිට උඩ වහගෙන, කොට කොටා පණුවෝ කනවා. එතකොට අර සතාට තුවාලේ වේදනාවයි, පණුවෝ ගහපු වේදනාවයි, දෙකයි. කපුටට මේක තේරෙන්නේ නෑ. කපුටා පණුවෝ කන්නයි කොටන්නේ නමුත් වදින්නේ තුවාලයට යි. ඒ සතා එහාට ඇඹරෙනවා මෙහාට ඇඹරෙනවා.
මම මේක දිහා සෑහෙන්න වෙලා බලන් හිටියා.මේ ඇස් දෙකෙන්ම දැකපු සිද්ධියක්. ඒ ද පින්වතුනි, හෙට දවසේ අපගේ චරිතය යි, කියන එක මතක තබාගන්න. අද මෙහෙම හිටියට හෙට දවසේදී මේ කියන ඕනෑම පැවැත්මකට පත්වෙන්න පුළුවන්කම, හේතු, ඔඩොක්කුවේ තියාගෙනයි අපි ඉඳගෙන ඉන්නේ.
අපි හිතාගෙන ඉන්නේ අතේ පයේ මොකුත් නැතුව හිස් අතින් අපි ඉඳගෙන ඉන්නේ කියලා නේද? නෑ. ඒ ඒ සත්ත්‍ව නිකායන්වල, ඉපදිලා විඳින්න තියෙන දුක් ඔඩොක්කුවේ තියාගෙනයි ඔය ඉඳගෙන ඉන්නේ කියලා මේ පින්වතුන් දන්නවාද? දන්නේ නෑ.
ඒ හින්දා, මම මේ කරන දේශනාව කරන්න ඉස්සෙල්ලා, මේ ටික මම මුලින් ම මතක් කරනවා.බොහොම ආදරයෙන්, උවමනාවෙන් අහලා මේ බණ ටික තේරුම් ගන්න උත්සාහවත් වෙන්න.
ඒ වගේම ඊයේ දවස, අද දවස කියන ටිකට විතරක් තීරණය වෙන්න එපා. සීමා වෙන්න එපා. දහම කියන එක, මේ සසර දුකින් අවසන් වෙන තුරුම මේ කලණ උත්සාහය අතහරින්න එපා කියන එක මතක් කරනවා.
අතිපූජ්‍ය මාන්කඩවල සුදස්සන හිමි
මේ උතුම් සඳහම් ලිපිය කියවීමට හෝ බෙදා හැරීමට කැමති පිංවතුන් 0725400094 අංකයට වට්ස් ඇප් පණිවිඩයක් යොමු කරන්න.
දිනපතා මෙවැනි උතුම් සඳහම් ලිපි කියවීමට හෝ බෙදා හැරීමට කැමති පිංවතුන්ට අපගේ සඳහම් සමූහය සමඟ එක් විය හැක.
chat.whatsapp.com/LDw0pu6WqhrFcZFxMuHxJu
මෙවැනි වටිනා සඳහම් ලිපි එකතුවකින් යුතු අපගේ නිල වෙබ් පිටුවට පිවිසෙන්න
pansilmaluwa.lk
තෙරුවන් සරණයි
46 - 9
මීට අවුරුදු 10කට පෙර මිය පරලොව ගිය, මැරුණා කියලා දන්න අඳුනන කෙනෙක්ව බලන්න ඔබ හෙට දවසේදී පිටත්වෙලා යන්නේ නැහැ. ඔබ ඒ කෙනාට කතා කරන්නට කියලා හෙට උත්සාහවත් වෙන්නේත් නැහැ. ඇයි උත්සාහවත් වෙන්නේ නැත්තේ? ඇයි බලන්න යන්නේ නැත්තේ? අපි බලන්න යන්නේ නැත්තේ අපි දන්නවා හොඳටම ඒ කෙනා දැන් ජීවත් වෙන්නේ නැහැ, ඒ කෙනා දැන් මැරිලා කියන්න. ඒ ‘මැරුණා’ කියන්න අපි දන්නාකම නිසා අපි ඒ කෙනා බලන්න යෑමක් හෝ ඒ කෙනාට කතා කිරීමක් හෝ සිද්ධ කරන්නේ නැහැ.
පින්වතුනි, අන්න ඒ විදිහටම අනිත්‍ය වූ රූපය අනිත්‍ය වූ රූපය හැටියටම අපි යම් මොහොතක දැක්කොත්, අනිත්‍ය වූ වේදනාව, අනිත්‍ය වූ සඤ්ඤාව, අනිත්‍ය වූ සංස්කාරය, අනිත්‍ය වූ විඤ්ඤාණය අනිත්‍ය ධර්මයක් හැටියට යම් මොහොතක දැක්කොත්, අපි නැවතත් අනිත්‍ය වූ ධර්මය කෙරෙහි පුද්ගලභාව වශයෙන් බැසගන්නවා කියන දේ සිද්ධ වෙන්නේ නැහැ. අපි මනස පැත්තේ තියෙන සංකල්පනාව රූපය පැත්තට පතිත කරලා නැවත පුද්ගලයෙක් උපදවාගෙන දුක් විඳිනවා කියන දේ වෙන්නේ නැහැ එතකොට.
අද අපිට ‘මම’ කියලා හිතනකොටම අපිට මතක් වෙන්නේම, අපි දන්නේම මේ අඟ පසඟින් යුක්ත ‘මම’ වූ රූපයක්. එතකොට අපි මේ රූපය ඇසුරු කරගෙන මේ රූපයත් එක්ක මේ රූපය ‘මම’ කියලා හිතාගත්ත මානසික මට්ටමකයි ඉන්නේ. ඒ මානසික මට්ටමක ඉන්නවා කියන එකෙන් කියන දේ තමයි අපි ආයතන කුසල වෙලා නැහැ. අපි පුද්ගලභාවය කියන දේ තුළයි අපේ මනස තියාගෙන ඉන්නේ. යම්කිසි විදිහකින් අපි දැක්කොත් හටගත්ත ධර්මයෝ හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කියලා, ඒ යථාභූත ස්වභාවය පිළිබඳව තේරුම් ගැනීම තුළ අපිට වැරදි සහගත මනසිකාරයක් හට නොගන්න බවට පත් කරන්නට පුළුවන්කම තියෙනවා.
ඔබ හරියට එදා මැරුණු කෙනා බලන්න අද පිටත්වෙලා යන්නේ නැහැ වගේ, අද ඔහුට කතා කරන්නට උත්සාහවත් වෙන්නේ නැහැ වගේ ඔබ රූපය අනිත්‍ය වූ බව දකිනවා නම්, අනිත්‍ය වූ රූපය අනිත්‍ය බවට ඔබට ප්‍රත්‍යක්ෂ වුනා නම් ඔබ ඒ රූපය ඇති බවට නැවත කල්පනා කරන්නේ නැහැ. එහෙනම් ඔබට කොහොමද මීට මොහොතකට කලින් හිටපු දරුවා, මීට මොහොතකට කලින් තිබුණු ගෙදර නැවත ඇති බවට ඒ පැත්තට බැසගන්නේ? අපිට ඒක බැසගන්නට තියෙන හේතුවක් නැහැ. මීට මොහොතකට කලින් අපිට හටගෙන නිරුද්ධ වූ රූපය කෙරෙහි ‘මමයි’ කියලා බැසගන්න පුළුවන්කමක් අපිට ඇත්තේ නැහැ. ඒ අපි රූපයේ නිරෝධය සාක්ෂාත් කළ නිසා.
ඒ රූප නිරෝධය කියන දේ, ස්කන්ධ නිරෝධය කියන දේ එළඹ සිටි නුවණක් විදිහට පවත්වන්නට පුළුවන් වුනොත්, අන්න ඒ කෙනාට ‘ලෙඩවෙන කයක් ඇතිව ලෙඩ නොවන සිතක් සකස් කරගෙන ඉන්න පුළුවන්කම’ තියෙනවා. මොකද, රූපය වෙනස් වීම අපිට නතර කරන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. මහාභූත රූපයේ ස්වභාවය තමයි ඒ ඒ හේතු මත විපරිණාමයට අඤ්ඤතාභාවයට පත්වෙන එක. ඒක කවදාවත් නතර කරන්න බැහැ. හැබැයි අපිට නතර කරන්න පුළුවන් මේ වෙනස්වෙන, විපරිණාමයට පත්වෙන රූපය සමග බැස ගන්න, ඒ හා රූපය සමඟ ඇසුරු වන විඤ්ඤාණය එසේ ඇසුරු වන බවට පත් නොකර ඉන්න පුළුවන්කම අපිට තියනවා.
ඒ බවට පත් කරන්න නම් අපිට ඒ අවිද්‍යා නිරෝධයට හිත තියන්න වෙනවා. අවිද්‍යා නිරෝධයට හිත තියන්න නම් අපිට විද්‍යාව උපදවන්නට නම් අපිට මේ තියෙන කෙලෙස් සහිත මානසික මට්ටම වැරදියි කියන එක පෙන්නලා දෙන්න වෙනවා. හිත එක එල්ලේ ඒක පිළිගන්නේ නැත්නම්, (අපි බිම ගෑවිලා තියෙන පඩියේ ඉදලා පඩිපෙළ නගින්න පටන් ගන්නවා වගේ) අපිට මේ ධාතු සඤ්ඤාව, ධාතු මනසිකාරය පවත්වන තැන ඉඳලා හෝ අපිට පටන් ගන්නට සිද්ධ වෙනවා. ඒ නිසා මේ කාලවකවානුව කාටත් යම් මට්ටමකින් කායික විවේකයක් සැලසිලා තියෙන කාලවකවානුවක්.
**අරණ්‍ය වාසයෙහි ආනිශංස
ඒ වගේම තවත් පැත්තකින් මානසික දුක කියන දේ, මානසික පීඩාව කියන දේ මානසික බය කියන දේත් තම තමන්ට දැනෙන්නට පටන් ගන්න, තම තමන්ට විඳින්න ලැබෙයි කියලා හිතෙන කාල පරිච්ඡේදයක්. පින්වතුනි, ඇත්ත තේරුම් ගන්නට පුළුවන් වටපිටාවක් මේක. බුදුරජාණන් වහන්සේ එක තැනකදී අරණ්‍ය වාසයෙහි තියෙන ආනිශංස ගැන දේශනා කරනකොට දේශනා කරනවා, ආරණ්‍යවාසී භික්ෂුවට තියෙන එක ආනිශංසයක් තමයි කැලේ ඉන්නකොට මැරෙන්න තියෙන හේතු ගොඩක් තියෙනවා. ඒ නිසා එයාට මරණ සතිය පිහිටුවාගෙන ධර්මය තුළ අප්‍රමාදී වෙන්න පුළුවන්කම තියෙනවා.
ඒක අද ඔබටත් ලැබිලා තියෙනවා. කාටත් ඒක ලැබිලා තියෙනවා. ඒ නිසා අපි මේ රූපය අනුව ගිහිල්ලා මේ රූපයේ දුක නැති කරගන්නට, බය වෙන්නට නෙවෙයි අද සිද්ධ වෙන්නට ඕනේ. අපි බය වෙන්නට ඕනෑ මේ රූපයට පුද්ගලභාව වශයෙන් පතිතවෙන කමට. මොකද මීට වඩා දුක් ඇති කයකට බැස ගත්තොත් පින්වතුනි මීට වඩා දුක් ඇති කය ‘පුද්ගලයෙක්’ විදිහට අපි උපාදාන කරගෙන ඒ මට්ටමේ දුකක් විඳින්නත් අපි හෙට දවසේදී ලෑස්තියි. අද දවසේ අන්ත අසරණ වෙලා, අන්ත දුකක් විඳින කෙනෙක්ව අපි දැක්කොත්, පින්වතුනි හෙට දවසේ දී ඒ අපේ ජීවිතය වෙන්න පුළුවන්. ඒ මට්ටමේ තැනකුත් උපාදාන වශයෙන් අල්ලගෙන ඒ දුකත් ‘මගේ’ කරගන්න පුළුවන් මානසික මට්ටමක තමයි අපි ජීවත් වෙන්නේ.
අපි බය වෙන්න ඕනේ අද අපිට කොරෝනා හැදෙයිද කියලා නෙවෙයි, අද අපිට ලෙඩක් හැදෙයිද කියලා නෙවෙයි. අපි බය වෙන්න ඕනේ මේ හැම ලෙඩක්ම ‘මගේ’ කරගන්න පුළුවන් මානසික මට්ටමට. රෝගයකට අවශ්‍ය ප්‍රත්‍ය ටික ලැබුනට පස්සේ ඕනෑම වෙලාවක උඩට මතුවෙලා වැවිලා යන්න පුළුවන් රෝග බීජයක් වගේ මේ කයක් තියාගෙන, මේ කය ‘මම’ කරගත්ත ලොකුම මෝඩකම ගැනයි අපි බයක් උපදවා ගන්නට ඕනේ. ඒ බය අපි උපදවා ගත්තොත්,ඒ බය අපිට තේරෙනවා නම්, පින්වතුනි අපි අප්‍රමාදී වෙනවාමයි.
ඒ නිසා කවුරුත් උත්සාහවත් වෙන්න, කවුරුත් අප්‍රමාදී වෙන්න. මේ ලැබුණු අවස්ථාව අතහැර ගන්නට එපා. මේ ජීවිතය හිස් ජීවිතයක් විදිහට පවත්වන්න එපා. මේ ජීවිතය හිස් නොවන විදියට කෙළවර කරගන්නට උත්සාහවත් වෙන්න. මැරෙනවා කියන එක අපි දැන් ද, අද ද, හෙට ද කියන එක නෙවෙයි වැදගත් වෙන්නේ. ඒක ඕනෑම මොහොතක වෙන්න පුළුවන්කම තියෙන දෙයක්. ඒකට නිශ්චිත වේලාවක් හරි, නිශ්චිත විදිහක් හරි ඇත්තේ නැහැ. ඒ නිසා අපි ඕනෑම වෙලාවක අපේ ජීවිතය හිස් ජීවිතයක් විදිහට අවසාන කරන්නට බලාපොරොත්තු නොවී මේ ජීවිතේදීම විමුක්තියක්, මිදීමක් ලැබෙන පැත්තක් ගැන කල්පනා කරනවා නම් පින්වතුනි, අපි බුද්ධිමතෙක් විදිහට අද දවසේදී කළ යුතු වන්නේ අන්න ඒ දේ. ඒ නිසා ඒ සඳහා කවුරුත් අප්‍රමාදිව කටයුතු කරන්නට කියලා කල්‍යාණ මිත්‍ර භාවයෙන් සිහිපත් කරනවා.
~ මෙම දේශනාවට අප ගුරුදේවෝත්තම අවසරයි මාන්කඩවල සුදස්සන ස්වාමින්වහන්සේගේ පැහැදිලි කිරීම ~
කස්සප පොඩි හාමුදුරුවෝ මතක් කලේ ජීවිතයට කෙලෙස් නිසා, පුද්ගලභාවය නිසා ඇතිවෙන දුක් ටික, ආත්ම දෘෂ්ඨිය නිසා ඇතිවෙන දුක් ටික අපිට අනාත්මය අවබෝධ කරගෙන නැත්නම් ධර්මය අවබෝධ කරගෙන ඒ දුකෙන් මිදෙන්න පුළුවන් කියන එක. නකුලපිතු තුමාට තථාගතයන් වහන්සේ දේශනා කරන්නෙත් ඒකම තමයි. පොඩි හාමුදුරුවෝ මතක් කළ විදිහට, ලෙඩවෙන කය ඇතිව ලෙඩ නොවන හිතක් හදාගන්න කියලා.
** ජීවිතයකට දුක එන ක්‍රම
ඇත්තටම පින්වතුනි මෙතැනදී අපි මේ කාරණාව තව පොඩ්ඩක් සාකච්ඡා කළොත්, අපේ ජීවිතයකට දුක එන්න පුළුවන් ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා.
1. ප්‍රත්‍ය පහසුකම නැතිකම නිසා
2. කෙලෙස් ටික නිසා
ඒ කියන්නේ කෙලෙස් ඇතිකම තිබුනත් නැතත් ජීවිතයකට දුක එන පැත්තක් තියෙනවා. හැබැයි ඒ දුක බොහෝම අල්පයි, ටිකයි. ඒ කියන්නේ කාය පටිබද්ධව, කය හා බැඳුණු දුක් ටිකක් විතරයි අපිට ඉතුරු වෙන්නේ ඔය ප්‍රත්‍ය පහසුකම නැති නිසා. නැත්නම් ‘ජීවිත පරියන්ත දුක්ඛං’ දිවි කෙළවර කොට ඇති දුක නැතිනම් කය කෙළවර කොට ඇති දුක කියනකොට කාය පටිබද්ධ දුකක් විතරයි ඒකෙන් ලැබෙන්නේ. නමුත් හැම වෙලාවේම හොඳට මතක තබා ගන්න රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ඨබ්බ, ධම්ම කියන බාහිර ආයතන හය හරහා යම් දුකක් අපිට එනවා නම්, දෝමනස්සයක් අපිට එනවා නම් ඒ දුක් දොම්නස් දෙක අපිට එන්නේ ‘කෙලෙස් සහගතවමයි’.
නමුත් ලෝකය දිහා ගත්තොත් කෙලෙස් සහගත දුක තමයි වැඩි බරක් තියෙන්නේ, වැඩි දුක් ස්වභාවයක් තියෙන්නේ. අපි උදාහරණයකට ගත්තොත්, ඔබට යම්කිසි කෙනෙක් කතා කරලා කිවුවොත් “තමුන්ගේ අත කපන්නද, නැත්නම් මේ දරුවා මරන්නද?” ඔය දෙකෙන් මොකටද කැමති වෙන්නේ කියලා ඇහුවොත් ඔබ කෙලින්ම කැමති වෙයි “දරුවා මරන්න එපා! අත කපන්න” එහෙම නැත්නම් “ මේ ඇගිලි ටික කපන්න ද? දෙමව්පියෝ මරන්නද” කියලා ඇහුවොත්“ ඇඟිලි ටික කපන්න, දෙමාපියන්ට මුකුත් කරන්න එපා!” කියලා කියයි.
ඒ වගේ අපි මේ සසර ගමන එන්නේ ‘තණ්හාව’ නිසා. තණ්හාවට ගොඩක් ආහාර තියෙන, ගොඩක් තණ්හාව තියෙන තැන, වැඩිපුර බැඳිලා තියෙන නිමිත්තෙන් තමයි අපිට දුක වැඩිපුර එන්නේ. අපිට අපේ ජීවිතයට තණ්හාව නැතුව නෙවෙයි තියෙනවා. නමුත් අද දවසේ දී අපි ගාව තියෙන ජීවිත ආසාව තමයි බාහිර නිමිති ටිකට බෙදිලා ගිහිල්ලා තියෙන්නේ. අපි කියමු ‘දරුවා', 'දෙමව්පියෝ', 'නෑදෑයෝ' කියලා අපිට තේරුණාට අන්තිමට ඒ හරහා තියෙන්නෙත් අපේ ජීවිත ආසාවමයි, තමන්ගේ කැමැත්තමයි. ඒ කියන්නේ තණ්හාව කියන තැන ගත්තොත් තණ්හාවට ආධ්‍යාත්මික, බාහිර කියලා භේදයක් නැහැ. නමුත් තණ්හාව බෙහෙවින් පතිත වෙන්න හිතයි බාහිර ආයතන ටික.
** ‘සොපාදිසේස නිබ්බාණ’ සහ ‘අනුපදිසේස නිබ්බාණ'
එතකොට මෙතනදී බුදුරජාණන් වහන්සේ නිවන ‘සොපාදිසේස නිබ්බාණ’ සහ ‘අනුපදිසේස නිබ්බාණ’ කියලා දෙයාකාරයකින් පෙන්නුවේ අපේ ජීවිතයට දෙයාකාරයකින් පවතින දුක නිරුද්ධ වෙන්න යන දෙයාකාර අවස්ථාවන් නිසයි. උදාහරණයක් හැටියට ගත්තහම ‘සොපාදිසේස නිබ්බාණ’ කියන්නේ උපධි ශේෂයක් සහිත නිර්වාණය පනවන කොට. උපධි හතරක් තියෙනවා. ‘කාමය’ කියන එක උපධියක්, ‘ක්ලේශය’ කියන එක උපධියක්, ‘අභිසංස්කාර’ කියන එක උපධියක්. (ඒ කියන්නේ පුඤ්ඤාභි සංස්කාර, අපුඤ්ඤාභි සංස්කාර සහ ආනෙඤ්ජාභි සංස්කාර කියන කර්ම). ඊගාවට ‘ස්කන්ධ’ කියන එක උපධියක් ‘ඛන්ධ උපධි’.
‘කාම උපධි’, ‘ක්ලේශ උපධි’, ‘ අභිසංස්කාර උපධි’, ‘ඛන්ධ උපධි’ කියලා උපධි හතරයි. එතන කාම උපධිය, ක්ලේශ උපධිය, අභිසංස්කාර උපධිය කියන උපධි තුනම අයින් කරලා ස්කන්ධ ටික විතරක් (ඛන්ධ උපධි) පරිහරණය කරන නිසා සො+උපදිසේස, උපධි ශේෂයක් තියෙනවා කියලා පෙන්වනවා. උපධි ශේෂ කියලා කියන්නේ ස්කන්ධ ටික තියෙද්දි කාමය අතහැරලා, ක්ලේශය අතහැරලා, කර්ම අතහැරලා. හොඳට බලන්න, ‘සොපාදිසේස’ කියනකොට කාමය අතහැරෙනවා, සියලු කෙලෙස් අතහැරෙනවා, ඒ වගේම කර්ම අතහැරෙනවා. මෙන්න මේ කාමය නිසා, කෙලෙස් නිසා, කර්ම නිසා ඇතිවෙන යම් දුකක් තියේ නම් ඒ දුක් ටික සම්පූර්ණවම නැති කරනවා ස්කන්ධ පරිහරණයේ දුක විතරක් ඉතුරු වෙනවා. (රහතන් වහන්සේ)
එතකොට තුන් භූමිය අනුව ගිය සියලුම ධර්මතා යම් සංඛ්‍යාවකට ගැනෙන්නේ, සංඛ්‍යාවකට යන්නේ, මනුස්සයො හෝ දෙවියෝ හෝ බ්‍රහ්මයෝ හෝ නිරය සත්තු හෝ කියලා කුමන හෝ ගණයකට යන්නේ, සංඛාවකට යන්නේ කෙලෙස් නිසා. එතකොට මේ ක්ලේශ පරිනිර්වාණය කියන තැනින් කරන්නේ මොකක්ද? ස්කන්ධ ටිකේ යථාභූත ස්වභාවය (යම් සේ වූ ද, යම්සේ පවතීද) එසේ සැබෑ ස්වභාවය අවබෝධ කරගත්තහම ස්කන්ධයන්ගේ ගතිය යම් බඳු ද නුවණ එබඳුයි. නුවණ යම් බඳු ද ස්කන්ධයන්ගේ ගතිය එබඳුයි. ඔතනට සාමාන්‍යයෙන් කියනවා ‘ධම්ම වෙනවා’ කියලා. ඒ කියන්නේ ස්වභාවයක් වෙනවා, ජීවිතය කියන්නේ ස්වභාව ධර්මයක් වෙනවා.
මතු සම්බන්ධයි
පූජ්‍යපාද කොත්මලේ කුමාරකස්සප ස්වාමීන්වහන්සේ
මේ සඳහම් ලිපිය බෙදා හැරීමට හෝ කියවීමට ඇවැසි පිංවතුන් 0725400094 අංකයට වටස් ඇප් පණිවිඩයක් යොමු කරන්න.
දිනපතා මෙවැනි ලිපි කියවීමට ඇවැසි ඇත්තෝ වෙතොත් අපගේ සඳහම් සමූහයට එක් වන්න
Follow this link to join my WhatsApp group: chat.whatsapp.com/EvSTlPnryTZKZ2rsVtrSty
52 - 14
දෙයාකාර වූ තණ්හාව..................
එතකොට අපි කතා කළා මේ දිට්ඨි ටික ඇතිවුණේ මොන හේතුවක් නිසාද? අයෝනිසෝ මනසිකාරය නිසා. දිට්ඨිසංයොජනසංයුත‍්තො භික‍්ඛවෙ අස‍්සුතවා පුථුජ‍්ජනො න පරිමුච්චති ජාතියා ජරාමරණෙන සොකෙහි පරිදෙවෙහි දුක‍්ඛෙහි දොමනස‍්සෙහි උපායාසෙහි; න පරිමුච්චති දුක‍්ඛස‍්මාති වදාමි - මහණෙනි, දෘෂ්ටිසංයෝජනයෙන් සංයුක්ත වූ අශ්‍රැතවත් පෘථග්ජන තෙම ජාතියෙන්, ජරාවෙන්, මරණයෙන්, ශෝකයෙන්, වැලපීමෙන්, කායිකදුකින්, මානසිකදුකින්, දැඩි ආයාසයෙන් නො මිදේ. සියලු සසර දුකින් නො මිදේ ය යි කියමි.
එතකොට ඒ මිදීම වෙන්නේ නැති නිසා අපිට දිට්ඨි සංයොජනය දුරු කරගන්න වෙනවා, එතැනදී පැහැදිලි කළා කොහොමද ස්‍රැතවත්භාවය ඇතිකරගන්නේ, කොහොමද අස්‍රැතවත්භාවය දුරුකරගන්නේ කියලා. චතුරාර්ය සත්‍යය ගැන දන්නා බව මෙනෙහි කරන බව ස්‍රැතවත්භාවය ඇති කරනවා කියන කාරණය අපි කතා කළා. චතුරාර්ය සත්‍යය ගැන කතා කරද්දී අපි දුක්ඛ ආර්ය සත්‍යය හා දුක ගැන කතා කළා. දෙකට බෙදලා පෙන්නුවා දුක සහ දුක්ඛ සත්‍යය කියලා, දුක එකක් දුක්ඛ සත්‍යය තව එකක්. ඒක කාටත් පැහැදිලියිනේ නේද?
එතකොට දුක කිව්වා දුක්ඛ සත්‍යය මත පිහිටා තියෙන දේට, හැමවෙලාවකදීම දුක්ඛ සත්‍යය යෙදිලා තියෙනවා, දුක්ඛ සත්‍යය මත පිහිටලයි දුක තියෙන්නේ. දුක කියලා කියන්නේ අපි විඳින කායික හා චෛතසික දුකටයි, ඒ කියන්නේ හිතට හෝ කයට දැනෙන වේදනාවයි. දුක්ඛ සත්‍යය කිව්වා හැමවෙලාවකදීම ඇතිබවට හම්බවෙන දේ මතම ඇති දුක්ඛ ලක්ෂණ ටිකට, ඒ කියන්නේ යම් කායික හා චෛතසික දුකක් තිබේ නම් ඒ කායික හා චෛතසික දුක අත හැරලා ලෝකේ තවත් දුකක් තියෙනවා නම් ඒකට කිව්වා දුක්ඛ සත්‍යය කියලා.
එතකොට මෙන්න මේ ධර්මතාවය නිසා අපිට වෙනවා දුක්ඛ සත්‍යය පිරිසිඳ දකින්න, දුක අපි කවුරුත් දන්නා දකින දේ. ඒ නිසා දුක්ඛ සත්‍යය පිරිසිඳ දකින්න වෙනවා. දැන් අපිට දුකයි දුක්ඛ සත්‍යයයි ගැන පැහැදිලියිනේ, ඒ විදිහටම අපිට දැන් ආයේ බෙදන්න වෙනවා දුකේ හටගැනීම නැතිනම් සමුදයත් අර වගේම දෙපැත්තකට බෙදලා දක්වන්නට වෙනවා.
කොහොමද සමුදය දෙපැත්තකට බෙදලා දක්වන්නේ?
• තියෙන කෝප්පයට ලෝකයේ තණ්හා කිරීමක් තියෙනවා, තියෙන කෝප්පෙට ආස වෙනවා, ආසාව නිසා කෝප්පේ කැඩෙනකොට දුක එනවා. අන්න දුක්ඛ සමුදය පේනවා කෝප්පේ කැඩීම දුක වුණා, මොන හේතුවක් නිසාද? කෝප්පයට ඇලුණු නිසා. නොඇලුණුබව තුළ උපේක්ෂාසහගත වීම නිසා තියෙන කෝප්පේ කැඩුනට දුක එන්නේ නැහැ.
අපි කිව්වොත් මේ වෙලාවේ ජපානේ භූමිකම්පාවක් වෙලා සීයක් දෙසීයක් මැරුණා කියලා ඒකට අපිට දුක එන්නේ නැහැ, හැබැයි කිව්වොත් ලංකාවේ අපේ ගෙවල් පැත්තේ භූමිකම්පාවක්ය කියලා ඔන්න දුක එනවා. තව දන්න කාටහරි මොනාහරි වෙලා කිව්වොත් අන්න දුක ගලාගෙන එනවා, ඇයි? තමන්ගේ කියලා බැඳීම, තණ්හාව නිසා. මේක එක දුක්ඛ සමුදයක්, දුක එන්න හේතුවක් හැබැයි දුක්ඛ සමුදය ආර්ය සත්‍යය නෙවෙයි.
දුක්ඛ සමුදය ආර්ය සත්‍යයේ ලක්ෂණය තමයි දුක්ඛ ආර්ය සත්‍යය ඇතිකරනකම. දැන් අපිට ඥාති ව්‍යසනය ප්‍රකටයි, ලංකාවේ දන්නා අපේ පිරිස මැරිලා කියන එක ප්‍රකටයි. ඒ දුක විඳින්නේ කවුද? කොහෙන්ද? මම හිතින් විඳින මානසික දුකක්, එතකොට ඒක දුක මිස දුක්ඛ ආර්ය සත්‍යය නෙවෙයි. මොකද යමක ප්‍රකරණයේදී කෙලින්ම කියනවනේ කායික දුකයි චෛතසික දුකයි තමයි දුක කියන්නේ කියලා, ඒක දුක්ඛ සත්‍යය නෙවෙයි.
• දුක්ඛ සත්‍යය කියලා කිව්වා ඥාතීන් එළියේ ඉන්නවා කියලා හිතනකම, ඒ හිතනකමම දුක්ඛ සත්‍යයයි. එතකොට ඥාතීන් එළියේ ඉන්නවා කියනබව මත අපිට ඇතිවන අනිත් ධර්මතාවය තමයි මෙහෙ පුද්ගලභාවය ඇතිවීම, හිතේම ඇතිකරගත්ත ඥාතීබව නැතිනම් ඥාතීන් එළියේ ඉන්නබවට හිතන විඳිනබව නොදන්නාකම නිසා එළියේ ඉන්න ඥාතියා හිතින්ම සිහිපත් කරනකොට එලියටම ඇඟිල්ල දික්කරනකොට ඥාතීන් ඉන්නබවමයි තමන්, තමන්ගෙන් තොර ඥාතියෙක් නෑ කියන දේ සිහිපත් නොවෙනකොට තමන් මෙහෙ ඉන්නවා කියනබව ඇතිවෙනවා. දැන් ඉන්න තමන්ට එළියේ ඥාතීන් ඉන්නවා, ඒ ඉන්න තමන්ට දැන් තණ්හායි තමන්ට ආසයි තමන් කැමති ඥාතියා නැතිවෙනකොට ඔන්න දැන් තමන්ට දුක එනවා. ඔතන ඔන්න සමුදය ආර්ය සත්‍යය පෙන්නනවා තමන්ව ඇතිකරගන්න තැනින්, නැතිනම් එළියේ ඥාතීන් ඉන්නවා කියලා දකිනකම තුළ තමන්ව නොදකිනකම නිසා ඇතිකරගන්න තණ්හාව - අපි කියනවා ඒකට නිකාන්ති තණ්හාව, නිකන්තික්ෂනයෙහි යෙදෙන තණ්හාව.
මේ උතුම් සඳහම් ලිපිය කියවීමට හෝ බෙදා හැරීමට කැමති පිංවතුන් 0725400094 අංකයට වට්ස් ඇප් පණිවිඩයක් යොමු කරන්න.
දිනපතා මෙවැනි උතුම් සඳහම් ලිපි කියවීමට හෝ බෙදා හැරීමට කැමති පිංවතුන්ට අපගේ සඳහම් සමූහය සමඟ එක් විය හැක.
chat.whatsapp.com/LDw0pu6WqhrFcZFxMuHxJu
මෙවැනි වටිනා සඳහම් ලිපි එකතුවකින් යුතු අපගේ නිල වෙබ් පිටුවට පිවිසෙන්න
pansilmaluwa.lk
තෙරුවන් සරණයි
22 - 8
නමොතස‍්ස භගවතො අරහතො සම‍්මා සම‍්බුද‍්ධස‍්ස
“තස‍්මාතිහ භික‍්ඛවෙ, මා අගොචරෙ චරිත්‍ථ පරවිසයෙ. අගොචරෙ භික‍්ඛවෙ, චරතං පරවිසයෙ ලච‍්ඡති මාරො ඔතාරං, ලච‍්ඡති මාරො ආරම‍්මණං”
සදා පූජනීය වන්දනීය මහා සංඝරත්නයෙන් අවසරයි. ශ්‍රද්ධා බුද්ධි සම්පන්න කාරුණික පින්වතුනි, මේ පින්වත් සියලු දෙනා ම දැන් මේ සූදානම් වෙන්නේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ අපි සියලු දෙනා කෙරෙහි ම මහත් වූ කරුණාවෙන් දේශනා කළ සසර දුක් ගිනි නිවීම පිණිස පවතින සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරන්න.
ඒ නිසා හැමදෙනා ම ඉතාමත් ම ඕනෑකමෙන් ඉතාමත් ම උවමනාවෙන් අද දවසේ දී මෙම දේශනාව ශ්‍රවණය කරන්න කියලා මතක් කරනවා. විශේෂයෙන් ම මේ දුක් සහගත සසර නිමා කර ගන්න වෙර වීරිය වඩන, සසර දුක ගෙවා ගන්න උවමනා කරන, ඒ ශ්‍රද්ධාවන්ත සියලු දෙනාට ම සසර ගමන අවසන් කර ගන්න පුළුවන්වන ඉතාමත් ම වටිනා දහම් කරුණු ටිකක් මේ දේශනාව තුළින් කියලා දෙන්නට බලාපොරොත්තු වෙනවා.
විශේෂයෙන් ම අද දවස ගත්තහම ලංකාවාසී බෞද්ධ අපිට බොහෝ ම වැදගත් දවසක්. ඒ මීට අවුරුදු දෙදහස් තුන්සිය ගණනකට පෙර මිහිඳු මහරහතන් වහන්සේ අපි කෙරෙහි අනුකම්පාවෙන් ලංකාද්වීපයට වැඩම කරලා ඒ අමා මෑණි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය දේශනා කරලා මේ ලංකා ධරණි තලයේ සද්ධර්මය පිහිටවලා අපිට අනුග්‍රහය දක්වපු දවසක්.
ඉතින් මම හිතනවා, ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දුක් සහගත සසර ගෙවා ගැනීම පිණිස පෙන්වපු මාවත, මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා අපිට පෙන්නුව අද වගේ දවසක වසර දෙදහස් තුන්සිය ගණනක් ගත වුවත් ඉතාමත් ම වටිනා එබඳු ම වූ ඒ පණිවිඩය ලැබෙන දවසක් වේවී අද දවස කියලා.
ඒකෙන් මම මතක් කළේ වර්තමානය තුළ බොහෝ දෙනෙක් ධර්ම ශ්‍රවණය කරනවා, භාවනා කරනවා දුක් සහගත සසර නිමා කර ගන්නට නොයෙක් විදිහේ වෙර වීර්යය කරනවා. නමුත් අපිට පෙනෙනවා මේ පින්වතුන් ධර්මය අහලා, නුවණින් හිතලා, වෙර වීර්යය කරන තරමට ආධ්‍යාත්මික සංසිඳීමක් අද දවසේ දී මේ ශාසන වටපිටාව තුළ ලැබෙන්නේ නැහැ කියලා.
ඉතින් ඒ නිසා ගිහි පින්වතුන් වගේ ම අපේ පින්වත් ස්වාමීන් වහන්සේලා අතරත් වාද විවාද තර්ක විතර්ක මතුවෙනවා. එහෙම මතුවෙන්නේ කෙනා කෙනා තම තමන් යම් මට්ටමක හෝ දහමක් තුළ හැසිරෙනවා නම් ඒ හැසිරෙන පමණට හෝ තමන් තුළ ආධ්‍යාත්මික සංසිඳීමක් නොලැබෙන නිසයි. එහෙම ආධ්‍යාත්මික සංසිඳීමක් ලැබෙනවා නම්, මේ තරම් වාද විවාද තර්ක විතර්ක ඇතිවෙලා මේ වගේ අර්බුදකාරී වටපිටාවක් ලැබෙන්නේ නැහැ.
ඉතින් අද දවසේ දී ඒකාන්තයෙන් ම සසර දුක ගෙවාගන්නට බලාපොරොත්තුවන ශ්‍රද්ධාවන්ත පින්වතුන් හට ආධ්‍යාත්මික සංසිඳීමක් ඇතිවෙන, සසර ගෙවාගන්නට ඉවහල්වන නියම ප්‍රතිපදාව එළිපෙහෙළි කර ගන්නට පුළුවන් වෙයි කියලා මම හිතනවා.
අපි සාමාන්‍යයෙන් දන්නේ, කතා කරන්නේ මේ ලංකා ධරණි තලයේ පහළ වෙච්ච අන්තිම මහ රහතන් වහන්සේ මලියදේව මහ රහතන් වහන්සේ හැටියට. ඊට පස්සේ රහතන් වහන්සේ නමක් මේ ශාසනයේ පහළ වෙච්ච බවක්, ලෝකයේ වැඩ හිටිය බවක් පෙනෙන්නට නැහැ.
කොහොම හරි අවුරුදු දහස් ගණනක් මේ දක්වා ගලාගෙන ආපු මේ ශාසනයේ පෙළ දහම ගත්තහම ඉතාමත් නිරුපද්‍රිතව, මනා කොට ම පෙළ දහම පවතින බව මතක් කරන්නට පුළුවන්. එහි අඩුපාඩුවක්, ගිලිහුණු බවක් මම දකින්නේ නැහැ. දුක් සහගත සසරෙන් එතෙර වෙන්න අවශ්‍ය පණිවිඩය ඒ පෙළ දහම තුළ පවතිනවා.
නමුත් එම පෙළ දහම තුළ පවතින ධර්මයේ අර්ථය කාලයත් එක්ක වැහිලා, ඊට පස්සේ එහි අර්ථය මතු කර ගන්න වෙර වීර්යය දරන ලෝකය තුළ හරියට ම ඒ ධර්මයේ අර්ථය මතු වෙච්ච බවක් පෙනෙන්නේ නැහැ මට.
මොකද මම එහෙම මතක් කරන්නේ, “අත්‍ථමඤ‍්ඤාය ධම‍්මමඤ‍්ඤාය ධම‍්මානුධම‍්මපටිපන‍්නො හොති”, ධර්මය දැනගෙන ධර්මයේ විදිහට අර්ථය තේරුම් ගන්නට ඕනේ. අර්ථය බලාගෙන තමයි ප්‍රතිපත්තිය තියෙන්නේ. ප්‍රතිපත්තිය අනුව තමයි ප්‍රතිවේදය තියෙන්නේ.
යම් වෙලාවක පෙළ දහම තුළ පෙන්වන අර්ථය වැරදුනොත් ඒකෙන් ප්‍රතිපත්තිය වරදිනවා. ප්‍රතිපත්තිය වැරදුනොත් ප්‍රතිවේදය නැතහොත් මාර්ගඵල වරදිනවා. අද මේ ශාසනයේ ප්‍රතිපත්තියේ යම් අඩුවක් වෙලා තියෙන බව මට තේරෙනවා. මොකද, ආධ්‍යාත්මික සංසිඳීමක් ඇති කර ගත්ත උත්තමයන්ගේ නැතහොත් දහම තුල යෙදෙන කෙනා කෙනාගේ මනස් තුළ ආධ්‍යාත්මික සංසිඳීමක් ඇතිවෙලා දහම තුළින් නිවිලා සැනසෙන ගතියක් නොපෙනෙනවා නම්, ඒ අඩුව තියෙන්නේ ප්‍රතිපත්තිය තුළ යි.
ප්‍රතිපත්තිය තුළ අඩුවක් තියෙනවා නම් අඩුවක් තියෙන්නේ ඒ ප්‍රතිපත්තියේ හැසිරෙන්න දහම තුළින් ලබා ගත්ත අර්ථයේ තියෙන අඩුවක් නිසයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, එදා පරිනිර්වාණ මඤ්චකයේ ඉඳගෙන “සුභද්ද, මනා කොට පිළිවෙත් පිරුවොත් මේ ලෝකය රහතුන්ගෙන් කවදාවත් හිස් වෙන්නේ නැහැ” කියලා.
එතකොට ලෝකය රහතුන්ගෙන් හිස් වෙන්නේ නැත්නම්, නමුත් අද දවසේ දී රහතුන්ගෙන් අඩුවක් තියෙනවා නම් කොතනක හරි ප්‍රතිපදාවේ අඩුවක් ඇති. එතකොට ප්‍රතිපදාව කිවුවහම අපි තේරුම් ගන්නට ඕනේ සීලය විතරක් එහෙම නෙවෙයි.
ස්වාමීන් වහන්සේලා හෝ ගිහි පින්වතුන් ඇත්තට ම බොහෝ ම ආදරෙන් සකසා මනා කොට සිල්වත් වෙනවා වෙන්ට පුළුවනි, සිල්වත් ඇති. නමුත් සීලය මනා කොට තිබුණු පමණකින් ප්‍රතිපදාව ම නිවැරදි වෙන්නේ නැහැ. මොකද, මේ දුක නැති කරන මාවත සීල, සමාධි, ප්‍රඥා කියන ත්‍රීශික්ෂාවකින් යුක්ත නිසා.
අන්න ඒ ප්‍රතිපදාවේ කොතනක හරි වැරැද්දක් තියෙන නිසයි රහතුන්ගෙන් හිස් වෙන්නේ කියන කාරණාව අපිට පැහැදිලි යි. පෞද්ගලිකව මම කල්පනා කරපු දෙයක් තමයි, අපි වුණත් පෙළ දහමට අනුව දර්ශනය මතු කරලා අරගෙන දේශනා කරනවා. ඇත්තට ම ඒ දර්ශනය තුළ යථාභූත ස්වභාවය මැනවින් කැටි වෙලා පවතිනවා. ඒ තුළ කිසි ම දෝෂයක් නැහැ.
නමුත් ඒ තරම් ධර්මයක් අහලා, ධර්මයක් දන්න මේ පුද්ගල සන්තානවල සංසිඳීමක් දකින්නේ නැහැ. ඒ වගේ ම ලෝකයේ අපි දේශනා කරන දර්ශනාත්මක පැත්ත තබලා තව අපේ පින්වත් ස්වාමීන් වහන්සේලා, ගිහි පින්වතුන් නොයෙක් නොයෙක් පර්යායන්ගෙන් මේ ධර්මය පෙන්නනවා. ඒ ධර්මය වුණත් අහලා හැසිරෙන ඒ පින්වතුන්ගේ ආධ්‍යාත්මික චිත්ත සන්තානවල සංසිඳීමක් ඇතිවෙන බවක් පෙනෙන්නටත් නැහැ.
ඉතින් මේ කාරණා ඇයි මෙහෙම වෙන්නේ කියන අදහසක් මට තිබුණා. පහුගිය කාල වකවානුවේ දී මම බොහෝ සෙයින් ධර්ම දේශනා කරන එක ටිකක් නතර කරලා පිටකයත් ළඟ තබාගෙන හොඳට භාවනා කරමින් මේ ප්‍රශ්නය මොකක්ද, කොතනද අඩුපාඩුව, කොතනද වැරැද්ද කියන කාරණාව හෙව්වා.
මට බොහොම සතුටුයි මතක් කරන්නට, විශේෂයෙන් ම ලංකාවට බුද්ධ ශාසනය පැමිණි අද වගේ දවසක නැවත සම්බුද්ධ ශාසනය ප්‍රකෘතිමත් වෙන්න පුළුවන් ඒ ප්‍රතිපත්තිය තුළ තියෙන අඩුව මොකක්ද කියලා හොයා ගන්නට පුළුවන් වුණා. අන්න ඒ අඩුව මොකක්ද කියන කාරණාව මං අද පැහැදිලි කරනවා.
ඒ හින්දා ඉතාමත් ම උවමනාවෙන්, ඕනෑකමින් මේ දේශනාව ශ්‍රවණය කරන්න. ඉතාමත් ම උවමනාවෙන්, ඕනෑකමින් ශ්‍රවණය කළොත් මේ පින්වතුන්ට මම හිතන්නේ මේ ජීවිතයේ දී ම තමන්ගේ නිවීම, තමන්ගේ මිදීම හදා ගන්නට පුළුවන් දිට්ඨධම්ම සුඛ විහරණයක්, දිට්ඨධම්ම ව ම සැපසේ වාසය කරන්න පුළුවන් වටපිටාවක් ගිහි ජීවිතයේ වේවා, පැවිදි ජීවිතයේ වේවා හදා ගන්න පුළුවන් වටිනා දහම් පරියායක්, ධර්මයේ අර්ථයක් තේරුම් කර ගන්නට පුළුවන් වෙයි.
පින්වතුනි, විශේෂයෙන් ම අද මම මේ ධර්ම දේශනාව සඳහා මාතෘකා කළේ, බුදුරජාණන් වහන්සේ අප වෙනුවෙන් අනුකම්පාවෙන් දේශනා කළ ත්‍රිපිටක ධර්මයේ සංයුක්ත නිකායේ පස්වෙනි කාණ්ඩයේ සතිපට්ඨාන සංයුත්තයේ එන ‘සකුණග්ඝි සූත්‍රය’. ‘සකුණග්ඝි’ කියලා කියන්නේ උකුස්සකුට නැත්නම් ගිජුලිහිණියෙකුට. මම ඒ සූත්‍රයේ අදහස කෙටි කරලා, කැටි කරලා මතකයෙන් දේශනා කරන්නම්.
~ උකුස්සෙකු හා කැටකුරුල්ලෙක් අතර කතාවක් ~
එක්තරා අවස්ථාවක කැට කුරුල්ලෙක් (වී කුරුල්ලෙක්) ගලක් උඩ අව්ව තපිමින් ඉන්න කොට අහසින් යන ගිජුලිහිණියෙක් වේගයෙන් ඇවිල්ලා මේ කැටකුරුල්ලා ව ඩැහැගෙන යනවා. ඩැහැගෙන යන කොට කැටකුරුල්ලා තමන්ට ම දොස් කියා ගන්නවා, “මම, මට සුදුසු නැති තැන හිටපු නිසා, මට අයිති තැන හිටපු නැති නිසයි මම මේ ගිජුලිහිණියාට අහුවුණේ. මෙහි වරද මගේ ම යි” කියලා තමන්ගේ වරදින් ම තමන් දුකට පත් වුණා නේද කියලා තමන්ට ම දොස් කියා ගන්නවා. එතකොට තමන්ගේ බලයේ අධික මහන්තත්ත්වයෙන් යුක්ත මේ ගිජුලිහිණියා අහනවා, “මොකද උඹ උඹට ම බැන ගන්නේ?” කියලා.
සාමාන්‍යයෙන් අපිට යම්කිසි කෙනෙක් දුකක් පීඩාවක් කරදරයක් කළොත්, තව කෙනෙක් නිසා දුකක් පීඩාවක් කරදරයකට පත් වුණොත් අපි, බනින්නේ බොහෝ වෙලාවට අපිව පීඩාවට පත් කරන, අපිව මරන්න, අපිට ගහන්න එන කෙනාට නේ. ඉතින් මරන්න ගෙනියන ගිජුලිහිණියාට බනින්නේ නැතුව තමන්ට ම බැන ගන්නේ ඇයි කියලා ගිජුලිහිණියා ඇහුවා කැටකුරුල්ලාගෙන්.
එතකොට කැටකුරුල්ලා කියනවා, “මම පියාගෙන් උරුම වෙච්ච මට අයිති භූමියේ ඉන්නෙ නැතුව, මට නුසුදුසු තැන වාසය කරපු නිසයි මම උඹට අහුවුණේ. ඒ නිසා මෙහි දෝෂය කාගෙවත් නෙවෙයි මගේ ම යි” කියලා. ඊට පස්සේ මේ ගිජුලිහිණියාත් බොහො ම මාන්නයෙන් අහනවා, “හරි, උඹට අයිති භූමිය මොකක් ද”? එතකොට කැටකුරුල්ලා කියනවා, “කුඹුරුවල හාලා කැට නැගපු කැට තියෙන කුඹුරු තමයි මට ජීවත් වෙන්න සුදුසු කියලා.”
“හරි, මම නුඹව එතනට ගිහිල්ලා දානවා. ඒ දැම්මත් මම නුඹව අල්ලනවා” කියලා බොහො ම මාන්නයෙන් ගිජුලිහිණියා කියනවා. එතකොට කැටකුරුල්ලා හා කියලා කියනවා. ඊට පස්සේ මේ ගිජුලිහිණියා කැටකුරුල්ලාව කැට සහිත කුඹුරකට අතහැරලා උඩට යනවා.
කැටකුරුල්ලාගේ ක්ෂේත්‍රය නේ කැට සහිත කුඹුර. තමන්ට අයිති තැන තමන්ට ආරක්ෂා වෙන්න පුළුවන් තැනක් හොඳට බලාගෙන කැටයක් උඩට නැගලා ගිජුලිහිණියාට කියනවා “හරි, දැන් ඇවිල්ලා මාව අල්ලන්න” කියලා. ඊට පස්සේ ගිජුලිහිණියා තමන්ගේ බලයේ මහන්තත්ත්වයෙන් “ඕනෑ ම තැනක හිටියත් මම උඹව අල්ලනවා” කියන අදහසින් වේගයෙන් පියාඹලා මේ කැටකුරුල්ලා ගාවට එන්න ආවා.
ගිජුලිහිණියා බොහෝ දුරක් ආවා කියලා දකින කොට ම කැටකුරුල්ලා තමන්ගේ වාසස්ථානය වූ කැටයක් ඇතුළට හෙමින් රිංග ගත්තා. කැටකුරුල්ලා අල්ලගන්න ආපු ගිජුලිහිණියා කැටකුරුල්ලාව අල්ලගන්න බැරුව ආපු වේගයෙන් බිම ඇනිලා ලය පැලිලා එහෙම ම මැරුණා කියලා පෙන්වනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා “මහණෙනි, පෙර වූවක් කියමි” කියලා පෙර වූ සිද්ධියක් මේ පෙන්වන්නේ.
~ මාර භූමිය හා පියා සතු ඉඩම ~
ඒක උපමා කරලා පෙන්වනවා, “මහණෙනි තමන්ට අයිති නැති, තමන්ට අගෝචර, අනුන්ට අයත් භූමි භාගයේ හැසිරුණ නිසයි කැට කුරුල්ලා ගිජුලිහිණියාට හසුවුණේ. ‘‘තස‍්මාතිහ භික‍්ඛවෙ, මා අගොචරෙ චරිත්‍ථ පරවිසයෙ” - “ඒ හින්දා මහණෙනි, තමන්ට අගෝචර වූ අනුන්ට අයත් විෂයෙහි හැසිරෙන්නට එපා”.
“අගොචරෙ භික‍්ඛවෙ, චරතං පරවිසයෙ ලච‍්ඡති මාරො ඔතාරං, ලච‍්ඡති මාරො ආරම‍්මණං”. “මහණෙනි, අනුන්ට අයත් අගෝචර භූමියේ හැසිරුනොත්, මාරයා අරමුණු ලබනවා, මාරයාට නුඹලාව පේනවා, මාරයාට නුඹලා ගාවට එන්නට ඉඩ තියෙනවා. ඒ කියන්නේ “ජරා මරණයෙන් කවදාවත් නුඹලා මිදෙන්නේ නැහැ” කියලා පෙන්වනවා.
“මහණෙනි කැටකුරුල්ලාට අගෝචර වූ භූමිය වගේ, මහණෙනි, නුඹලාට අගෝචරය කුමක්ද”? නිවන් දකින්න බලාපොරොත්තුවන කෙනෙකුට, මේ ශාසනයේ ඉන්න කෙනෙකුට අගෝචර වූ අනුන්ට අයත් වූ ප්‍රදේශය මොකක් ද කියලා බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාගෙන් අහලා ඒ ගැන විස්තර කරනවා.
“මහණෙනි ඇහෙන් දතයුතු මන වඩන ප්‍රිය වූ මනාප වූ කාමය ඇති කළ හැකි රූප තියෙනවා. රූප වගේ ම, ශබ්ද, ගන්ධ, රස, ඵොට්ඨබ්බ, කියලා මෙන්න මේ පංච කාම ගුණ ටිකේ අපි වාසය කරනවා නම්, ඒවා ඇසුරු කර ගෙන ජීවත් වෙනවා නම් මේක තමයි අනුන්ට අයත් අගෝචර භූමියේ අපි වාසය කරනවා කියලා කියන්නේ.
කැමැත්ත හෝ අකමැත්ත හෝ කියන කතාව පැත්තකින් තැබේවා. අනුන්ට අයත්, අගෝචර භූමිය තමයි රූප, ශබ්ද, ගන්ධ, රස, ඵොට්ඨබ්බ කියන මෙන්න මේ කාමය ඇති කරන්න හිත වූ පංචකාම ගුණ ධර්මයන්. මෙන්න මේ පංච කාම ගුණයන් ඇසුරු කර ගෙන හිටියොත් මාරයා අපි කෙරෙහි අරමුණක් ලබනවා. මාරයා අපි කෙරෙහි අවකාශයක් ලබනවා.
ඒ කියන්නේ මාරයාට අපිව පෙනෙනවා. අපිට මාරයාව පෙනෙන්නේ නැහැ. එතකොට අපිට මාරයා අනුව යන්නට ම වෙනවා. එතකොට ජරා මරණ දුකෙන් නොමිදෙනවා කියන කාරණාවයි පෙන්නුවේ.
මතු සම්බන්ධයි
පූජනීය මාන්කඩවල සුදස්සන ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශන ඇසුරෙන් සැකසූ "සෝවාන් වීමට" ධර්ම ග්‍රන්ථයෙන් ඇසුරෙන්
දිනපතා මෙවැනි උතුම් සඳහම් ලිපි කියවීමට හෝ බෙදා හැරීමට කැමති පිංවතුන්ට අපගේ සඳහම් සමූහය සමඟ එක් විය හැක.
chat.whatsapp.com/LDw0pu6WqhrFcZFxMuHxJu
මෙවැනි වටිනා සඳහම් ලිපි එකතුවකින් යුතු අපගේ නිල වෙබ් පිටුවට පිවිසෙන්න
pansilmaluwa.lk
තෙරුවන් සරණයි
46 - 8
බුදුරජාණන් වහන්සේ ඇතැම් වෙලාවල අවස්ථානුරූපීව දේශනා කරන දේශනාවන් තියෙනවා. බුදුරජාණන් වහන්සේ ඒ සඳහා උපයෝගී කර ගන්නේ ධර්මමය කරුණු කාරණාවන් තමයි උපමා උපමේය සඳහා භාවිතා කරන්නේ. සුත්ත නිපාතයේ ම දකින්නට පුළුවන්කම තියෙනවා කසීභාරද්වාජ සූත්‍රය කියලා සූත්‍ර දේශනාවක්. කසීභාරද්වාජ බ්‍රහ්මණතුමා කුඹුර සාන වෙලාවක දී බුදුරජාණන් වහන්සේ සමග ඇති වුණු සාකච්ඡාවක දී එතුමාගේ ගොවිතැන ගැන එතුමා ප්‍රකාශ කරන කොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා "මමත් ගොවියෙක්". මමත් ගොවියෙක් කියලා බුදුරජාණන් වහන්සේ කරන ගොවිතැන ගැන දේශනා කරනවා.
"සද‍්ධා බීජං තපො වුට‍්ඨි පඤ‍්ඤා මෙ යුගනඞ‍්ගලං", කියලා ශ්‍රද්ධාව තමයි බිජුවට. තපස තමයි වැස්ස. ප්‍රඥාව තමයි නගුල බවට පත් වෙන්නේ කියලා මේ ආදී ලෙස බුදුරජාණන් වහන්සේ ධර්මමය උපමා උපමේයන් අරගෙන මෙබඳු වැඩ කරන මමත් ගොවියෙක් කියලා දේශනා කරනවා. සමහර වෙලාවට ධර්මය පිළිබඳව අවබෝධයක් නැති වුණහම, ධර්මය පිළිබඳව හැඟීමක් හෝ ඒ පිළිබඳව තෝරා ගැනීමක් නැති වුණහම, එහෙමත් නැතිනම් කන්න ඕනේ වුණහම කබරගොයත් තලගොයා කර ගන්නවා වගේ, සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ ගොවියෙක් කියලා කිවුවේ ගොවිතැන් කරලා තමයි නිවන් දකින්න පුළුවන්කම තියෙන්නේ කියලා.
මේ මෑත කාලයේදී එක්තරා ප්‍රධාන භික්ෂුන් වහන්සේ නමක් දේශනයක් කරනවා දැක්කා, "බුදුරජාණන් වහන්සේ කසීභාරද්වාජ සූත්‍රයේ දී දේශනා කරලා තියෙනවාය ගොවිතැන් කරන්නට යැයි" කියලා කියන. හැබැයි උන්වහන්සේ වෙලාවට දැක්කේ නැහැ, "මාතරං පිතරං හන‍්ත්‍වා රාජානො ද‍්වෙ ච ඛත‍්තියෙ" - අම්මායි, තාත්තායි දෙන්නා ම මරලා, ක්ෂ්ත්‍රීය රජවරු දෙදෙනාත් මරලා නිවනට පැමිණීම ගැන දේශනා කරපු දේශනාව. ඒ දේශනාව දැක්කා නම් එහෙම දෙමවුපියන්වත් ඝාතනය කරලා නිවන් දකින්න උත්සාහවත් වන තරමේ මානසික මට්ටමක් ඇති කර ගන්නත් බැරි නැහැ එබඳු මෝඩ ආකාරයට ධර්මය විමසන්නට ගියොත්.
බුදුරජාණන්න් වහන්සේගේ දේශනා ක්‍රමය තමයි, ඒ කෙනාගේ හිතට දෙන්නට පුළුවන් ආකාරයට වටිනා සංදර්භයක් නිර්මාණය කර ගෙන ධර්මය සම්ප්‍රේශණය කිරිම. එය බුදුරජාණන් වහන්සේගේ දේශනා මාධ්‍ය තුළ බුදුරජාණන් වහන්සේ අනුගමනය කරපු ක්‍රමයක්.
✳️ ලෝකයා තාවකාලික සතුටක් ලබන තැන ඇති දෝෂය
ධනිය ගෝපාල එක පැත්තකින් කියන කොට "පක‍්කොදනො දුද‍්ධඛීරො හමස‍්මි", මම කෑම කාලා ඔක්කොම ආහර කිස නිම කරලා ඉවරයි කියලා තමන්ගේ තෘප්තිය ගැන කියන කොට බුදුරජාණන් වහන්සේ ධනිය ගෝපාලට හිතන්න ඉඩක් දෙනවා. ධනිය, ඔබ ඔබේ ජීවිතයේ තෘප්තියට පත්වෙලා නැහැ ඔය පැත්තෙන්. ඔබ ඔය දේවල් හරි කියලා හිතාගෙන හිටියට ඔබ තවම තෘප්තිමත් වෙලා නැහැ කියන එක. ඒ කිව්වුවේ ධනිය ගෝපාලට කෑම කාලා පැත්තකට වෙලා ඉන්න පුළුවන් සතුටෙන්. හැබැයි ඔහු යම්කිසි දෙයක් තමන්ට අවශ්‍ය පරිදි නොවෙන කොට කිපෙන මනෝභාවයකින් යුක්තයි. එනම් ඔහුට තරහා යනවා. තරහා යනවා කියලා කියන්නේ සතුටක් නෙමෙයි නේ. තරහා යනවා කියලා කියන්නේ හිතේ පිච්චීමක් ඒක.
නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, "අක‍්කොධනො" මගේ මනසේ ද්වේශය ඇත්තේ නැහැ. තරහා නිවිලා ගිහිල්ලා. තරහා යන්න හේතු නැහැ. ඒ නිසා කිපෙන ස්වභාවයක් ඇත්තේ නැහැ. මම නොකිපෙන සැහැවි තියෙන්නේ.
ධනිය ගෝපාල කියන්නේ "දුද‍්ධඛීරො හමස‍්මි" - මම කිරි දොවලා ඔක්කොම කරලා අවසානයි කියලා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා, "විගතඛීලො හමස‍්මි"- මම පහ කළ කෙලෙස් ශල්‍ය තියෙන්නේ. කෙලෙස් උල් ටික ගලවලා මං ඉවරයි කියලා.
යම්කිසි කෙනෙකුගේ හිතේ ලෝභ, ද්වේශ, මෝහ සහගත කෙලෙස් හුල් තියෙනවා නම් ඒ කෙලෙස් හුල් තියෙන පුද්ගලයාට කෙලෙස් හුල් ඇනීම නිසා නිරන්තරයෙන් ම චිත්ත පීඩාවන්ට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. මම ඒ ඇනෙන කෙලෙස් හුල් ගලවලා දාලා තියෙන්නේ. මට ආයේ කෙලෙස් හුල් ඇනීමක් ඇත්තේ නැහැ. මම ඒ කෙලෙස් හුල් දුරු කරලා ඉවරයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.
✳️ හුදෙකලාවේ සිටීමේ වටිනාකම
ඒ වගේ ම ධනිය ගෝපාල කියන කොට, "අනුතීරෙ මහියා සමානවාසො," - මම මගේ ඉන්න පරිවාර ජනයත් එක්ක මහී ගංතෙර පදිංචි වෙලා ඉන්න කොට කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, "අනුතීරෙ මහියෙකරත‍්තිවාසො" - මේ මහී ගංතෙර මම හුදෙකලාව එක රාත්‍රීයක් ඉන්න ආවේ කියලා. ගංතෙරේ පදිංචි වෙලා ඉන්න ධනියට, තමන් එක්ක තව ගොඩක් අය ඉන්නවා කියලා හිතාගෙන සතුටු වන මනසට හුදෙකලාවේ තියෙන වටිනාකම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මේ මහී ගංතෙර එක රාත්‍රීයක් තනිව වාසය කරන එක තමයි සුව එළවන දේ කියලා.
ධනිය ගෝපාල මෙතනදී සතුටට පත් වුණේ කුමක් නිසා ද? "ඡන‍්නා කුටි ආහිතො ‘ගිනි" - ඔහුගේ කුටිය හොදින් ආවරණය කරලා තියෙන්නේ. ඒ වගේ ම ගින්න දැල්විලා තියෙන නිසා එයා සතුටට පත් වෙනවා. ගිනි දල්වා ගන්න අද වගේ ගිනිකූරූ තිබ්බේ නැහැ නේ. ඒ නිසා ගිනි නිපදවා ගැනීම ඔවුන්ට අසීරු වුණා. ඒ වගේ ම කුටිය හොඳට සෙවිලි කරලා තියෙන්නේ. ඒ නිසා තෙමෙන්නේ නැහැ වැස්සට. ඒ නිසා ඔහු වැස්සට රිසි සේ වහින්න කියනවා.
නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, "විවටා කුටි නිබ‍්බුතො ‘ගිනි" - මගේ කුටිය ඇරලා දාලා තියෙන්නේ. කුටිය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ කුටියක් හදාගෙන වැඩ සිටි නිසා නෙමෙයි. ලෝකයා ආත්මභාව විදිහට මේ කය අල්ලගෙන ඉන්න කොට බුදුරජාණන් වහන්සේ එය විවෘත කරලා දාලා තියෙන්නේ. මම, මගේ, මගේ ආත්මය විදිහට මේ කය ග්‍රහණය කර ගෙන නැහැ බුදුරජාණන් වහන්සේ. ඒ නිසා කය නම් වූ කුටිය විවෘත යි. ගින්න නිවිලා තියෙන්නේ. ඒ නිසා වැස්ස රිසි සේ වහින්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.
බුදුරජාණන් වහන්සේ දේශනා කරන කුටිය තමයි කය. කය කුටියක්. කය නැමති කුටිය අවිද්‍යාවෙන් වැහිලා තිබ්බහම එහි ඇත්ත යථාර්ථය විවරව පේන්නේ නැති වෙනවා. අවිද්‍යාව නැමති වැස්මෙන් වැහිලා තියෙන කොට රූපය පිළිබඳව ආත්මවාදී සංකල්පයක්, ආත්මවාදී හැඟීමක් ඇති වෙනවා. ඔබ මොහොතකට ඔබේ මනස පිළිබඳව අවදානය යොමු කළොත් ඔබට හඳුනා ගන්න පුළුවන් "මම" කියලා ඔබට හසුවන පුද්ගලභාවය. ඒක රූපය කෙරෙහි මොන තරම් ප්‍රබල ලෙස බැසගෙන බැඳ පවතිනවා ද කියන එක ඔබට දකින්නට පුළුවන්කම තියෙනවා.
පින්වතුනි, කය දිහා බලන කොට ම ඔබට "මේ මම නේද" කියලා හිතෙනවා. යම්කිසි විදිහකින් Photo එකක වුණත් ඔය සමාන රූපයක් තිබුණත්, ඔබ ඒක දකින කොට ම "මේ මම ඉන්නේ" කියන හැඟීම, " මේ මම ඉන්නේ" කියන අදහස ඔබේ සිතට නිතැතින් ම ඇතුළු වෙනවා. ඒක තමයි රූපය පිළිබඳව, කය පිළිබඳව ඔබේ තිබෙන වැසුණු හැඟීම. කයේ (රූපයේ) ඇත්ත ස්වභාවය ආත්මභාව නිශ්‍රිතව වැහිලා ගිහිල්ලා තියෙන්නේ. ආත්මභාව නිශ්‍රිතව ආවරණයට ලක් වෙලා. ඒ නිසා ඔබට රූපය 'මම', රූපය මගේ, රූපය මගේ ආත්මය කියලා හම්බ වෙනවා.
✳️ රූපය මම, මගේ, මගේ ආත්මය කියා අල්ලා ගැනීමෙන්
රූපය 'මම' කියලා හම්බ වුණොත්, රූපය ලෙඩවෙන කොට ඒ ලෙඩවෙන රූපයට අනුව මට ලෙඩ වෙන්න පුළුවන්, වයසට යන රූපය අනුව මට වයසට යන්න පුළුවන්, මැරෙන රූපයට අනුව මට මරණයට පත්වෙන්න පුළුවන්. ඔය මම කියලා ගත්ත කෙනාට අයිති දේවල් තියෙනවා. ඒ දේවල් නැති වෙන්න පුළුවන්. එදිනෙදා ජීවීතයේ විඳින්න වෙන සෑම දුකකට ම ඔබ හිමිකරුවෙක් බවට පත් වෙනවා රූපය තණ්හාවෙන් පරිග්‍රහණය කිරීම තුළ.
බුදුරජාණන් වහන්සේ නිවීම හැටියට දේශනා කරනවා, 'මම' කියලා ආත්මභාව විදිහට විඳගෙන යන කෙනෙක් ඉන්නවා කියලා දැඩිව ග්‍රහණය කර ගෙන ඉඳිම නෙමෙයි මෙතනදී තියෙන වටිනා ම දේ බවට පත් වෙන්නේ. මොකක්ද වටිනා ම දෙය බවට පත් වෙන්නේ? මේ කය විවර කර දැක්වීම. ඒක තමයි වටිනා ම දේ බවට පත් වෙන්නේ. "විවටා කුටි", මගේ කුටිය ව්වෘත යි. කුමකින් ද විවෘත? ආත්මභාව සංඛ්‍යාත දෙයක් මේ කයේ ඇත්තේ නැහැ. විද්‍යාවෙන් විවෘත කළහම පේනවා මේ කයේ ආත්මභාව වශයෙන් පනවන්න දෙයක් නැහැ කියලා.
✳️ කෙලෙස් ගිනි නිවෙන හැටි
යම් රූපයක් තියෙනවා නම් ඒ රූපය ඒ ඒ මොහොතේ හට ගෙන නිරුද්ධ වන ධර්මයක්. සතර මහා ධාතු රූපයක් තියෙනවා නම් ඒ සතර මහා ධාතු රූපය ද නිරුද්ධ වන දෙයක්. එතකොට ඒ හටගෙන නිරුද්ධ වන රූපයේ මම, මගේ, මගේ ආත්මය කියලා පරිග්‍රහණය කරන්නට තැනක් නැහැ කියලා ආත්මවාද ස්වභාවය බැස ගන්නට මේ කයේ ඉඩක් නැහැ කියලා හොඳින් විවර කරලා, විවෘත කරලා දක්වලා තියෙනවා. ඒ විවෘත කිරීම එක්ක "නිබ‍්බුතො ‘ගිනි" - ගින්න නිවෙනවා. මොන ගින්න ද? "රාගග‍්ගි, දොසග‍්ගි, මොහග‍්ගි".
රාගය කියන්නේ ගින්නක්, ද්වේශය කියන්නේ ගින්නක්, මෝහය කියන්නේ ගින්නක්. යම්කිසි විදිහකින් ස්කන්ධ ධර්මයන්ගේ යථාර්ථය නොදන්නා මට්ටමකදී එතන යම් ඇලීමක් තියෙනවා නම්, යම් බැඳීමක් තියෙනවා නම් අන්න ඒ නොදන්නාකම දන්නාකම බවට පත් වෙන කොට ඒ ඇලීම හා බැඳීම නිකන් ම නැති වෙලා යනවා. එහෙනම් රාග, ද්වේශ, මෝහ ගින්න එතන උපදින්නේ නැහැ. ඒ නිසා ගින්න නිවිලා තියෙන්නේ. ඒ කෙලෙස් ගිනි නිවපු බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, "අථ චෙ පත්‍ථයසි පවස‍්ස දෙව" - ඉතින් මේඝය ඇති තරම් රිසි සේ වහින්න කියලා.
මතු සම්බන්ධයි
පූජනීය කොත්මලේ කුමාරකස්සප ස්වාමීන් වහන්සේ විසින් 2022 10 22 දින සිදු කළ ධර්ම දේශනාව ඇසුරෙන් පිටපත් කිරීමකි.
මේ සඳහම් ලිපිය බෙදා හැරීමට හෝ කියවීමට ඇවැසි පිංවතුන් 0725400094 අංකයට වටස් ඇප් පණිවිඩයක් යොමු කරන්න.
දිනපතා මෙවැනි ලිපි කියවීමට ඇවැසි ඇත්තෝ වෙතොත් අපගේ සඳහම් සමූහයට එක් වන්න
Follow this link to join my WhatsApp group: chat.whatsapp.com/LDw0pu6WqhrFcZFxMuHxJu
පසුගිය ලිපි කාණ්ඩ වශයෙන් පරිශීලණය කිරීමට පිවිසෙන්න
pansilmaluwa.lk
31 - 10
මේ ශාසනය තුල විවාද නොකර සමගි සම්පන්න සාකච්ඡාවක්~~
**කොත්මලේ කුමාරකස්සප හිමි:-
"අයං ඛො පනාවුසො අම්හාකං භගවතා ධම්මො ස්වාක්ඛාතො සුප්පවෙදිතො නිය්‍යානිකො උපසමසංවත්තනිකො සම්මාසම්බුද්ධප්පවෙදිතො" - අපේ භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය මැනවින් දේශනා කළ මැනවින් අවබෝධය පිණිස පවතින නෛර්යානික, හික්මීම පිණිස පවතින මනාකොට දේශනා කරපු දෙයක්. ඒ නිසා, "තත්ථ සබ්බෙහෙව සඞ්ගායිතබ්බං" - මෙහි එකතුවෙලා සාකච්ඡා භාජනය කරන්න. "න විවදිතබ්බං" - විවාද කරන්න එපා මේ ධර්ම විනය තුල. මොකද, බුදුරජාණන් වහන්සේගේ ධර්මයට නිගණ්ඨනාත පුත්තගේ ශාසනයට වුනු තත්වය උදා නොවිය යුතුයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ එකතුවෙලා සමගි සාකච්ඡාවට තමයි ඉඩකඩ හදලා දෙන්නේ.
"තදස්ස බහුජනහිතාය බහුජනසුඛාය ලොකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දෙවමනුස්සානං" - ඒක මුළු සමස්ත ලෝකයකටම යහපත පිණිස පවතින දෙයක්. ඒ යහපත පිණිස පවතින ධර්ම විනය විවාද නොකර මුළු ලෝකයටම යහපත පිණිස පවතින ආකාරයට එකතු වී සාකච්ඡා කිරීම, විවාද නොකිරීම කියන දේ අත්‍යවශ්‍ය දෙයක්. අපි මේ කාරණාව තුල ස්වාමීන් වහන්ස, පසුගිය කාලය පුරාවටම නොයෙක් ආකාරයෙන් ධර්ම විනයානුකුලව බොහෝ ධර්ම කරුණු කතා කළා. ඒ වගේම අපි ඔවුන්ට විවෘතව ආරාධනා කළා අපි සමග සාකච්ඡා කරන්න එන්න කියලා. ඒ වගේම ධර්ම විනය පිළිබඳව විවිධ මතවාදයක් ප්‍රකාශ කරනවා නම් ඒක අපිට බහාලා බලන්න යම් සීමාවක්, නිර්ණායකයන් තියෙනවා. ඒක බුදුරජාණන් වහන්සේ විසින්ම දේශනා කරන ලද නිර්ණායකයන් තියෙනවා.ඒ නිර්ණායකයන්ට බහාලා අපි එකතුව සමගිව සාකච්ඡා කරන්නට ඕනේ.
**මාන්කඩවල නන්දරතන හිමි :-
එහෙම නැතුව, 'මම රහත් වුනා', මට අවබෝධ වුනා කියලා වචන මාත්‍රයකින් නෙමෙයි. ඒකට පිළිගත් සාධක තියෙනවා බුදුරජාණන් වහන්සේ වදාළ.
**කොත්මලේ කුමාරකස්සප හිමි:-
බුදුරජාණන් වහන්සේ වදාළ පිළිගත් සාධක ටික වගේම ස්වාමීන් වහන්ස, ඒ සාධක කතා කළ යුත්තේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් සමග විනා ධර්මය පිළිබඳව හාන්කවිස්සියක්වත් නොදත් ගිහි සමාජය සමග නෙමෙයි. ඒ ගිහි පිරිස් විසින් ධර්මය කියලා වැරදි තැනකින් අල්ලන්න පුළුවන්. ඒ නිසා ඔවුන් සරණ ගිය ශ්‍රාවකයන් කොතෙක් ඉන්නවද කියන එක නෙමෙයි ධර්ම කාරණාවක දී වැදගත් වෙන්නේ. අපේ ජන සමාජයත් සමහර වෙලාවට වරද්ද ගන්න තැනක් තමයි කෙනෙකු ළඟ බොහෝ පිරිසක් හිටියොත්, ඔහු විසින් කියන දේ නිවැරදි කියලා දැක්මක් ඇතිකර ගැනීම.
අපිට මේ සුත්‍ර දේශනා තුලදීම හම්බෙනවා නිගණ්ඨනාත පුත්තගේ ආදී දහම් ගැන කතා කරනකොට" සඞ‍්ඝී චෙව ගණී ච ගණාචරියො" වශයෙන් ඔවුන්ව හඳුන්වන්නේ. ඔවුන්ට මහා ශ්‍රාවක පිරිස්, ශ්‍රාවක ඝනයා බොහෝ හිටිය අය. බොහෝ පිරිසකට ආචාර්යවරයෙක් විදිහටයි ඔවුන් කටයුතු කළේ. ඒ පිරිස මත තීරණය වුනේ නැහැ ඔහු කතා කරන දෘෂ්ඨියේ නිරවද්‍යතාවය. ඒ නිවැරදි බව තීරණය සදහා වෙනමම නිර්ණායකයන් ධර්මය තුළම තියෙනවා. අදටත් ඒක ඒ විදිහටම වලංගුයි.
ඒ නිසා ධර්ම විනය කියන එක ගැන අපි තීරණය කරන්නට ඕනේ සමගිව සාකච්ඡාවෙන් මිසක, අනිත් අයට දේශනා කිරීමෙන් පමණක් ඒ දේ ඇත්තයි කියන එක මතුවෙනවා නෙමෙයි. අන්න ඒ නිසා තමයි " තත්ථ සබ්බෙහෙව සඞ්ගායිතබ්බං" - සමගිව එකතුවෙලා මේ ගැන කතා කරන්න, සංගායනා කරන්න. ඒ වගේම "න විවදිතබ්බං" - ධර්මය විවාදයකට ලක් කරගන්න එපා. ධර්මය තියෙන්නේ වාද විවාද පිණිස නෙමෙයි. ධර්මය තියෙන්නේ සමගිව සාකච්ඡා කරන්න. ඉතින් ඒ නිසාම ඒ දුර්මතයන් කියන බොහො දෙනෙකුට අපි ආරාධනා කළා, ලෝකයට ඒ දේවල් කතා කරන්න නෙමෙයි, භික්ෂුන් වහන්සේලා විදිහට අපි එකතුවෙලා මේ සම්බන්ධව සමගි සම්පන්නව කතා කරමු මේ ප්‍රශ්නය පිළිබඳව කියලා. නමුත් ඒ බව කොතෙක් දුරට පිළිගත්තා දැයි කියන ගැටලුව නම් තියෙනවා.
**මාන්කඩවල නන්දරතන හිමි :-
කොහොමත් කස්සප හාමුදුරුවනේ සම්බුද්ධ ශාසනය තුල විවාදාපන්න කාරණා මතු කරමින් නැවත නැවත මේ ශාසනය අවුල් කිරීමට කටයුතු කිරීම විනයානුකුලව පවා බලවත් වරදක් හැටියටයි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. මේ සඞ්ගීති සුත්‍ර නිදානය පිළිබඳව විමසා බලනකොට හරිම පහන් සංවේගයක් ඇතිවෙන අවස්ථාවක්. එක පැත්තකින් ශාසන ඉතිහාසය පිළිබඳව අපුරු චිත්‍රයක් මවාගන්න තියෙන අවස්ථාවක්. බුදුරජාණන් වහන්සේ වියපත් භාවයට පත්වුන සමයකයි මේ සුත්‍ර ධර්මය දේශනා කරන්නේ. බුදුරජාණන් වහන්සේගේ ජීවිත කාලයේ අවසාන කාල පරිච්ඡේදය තුල, සැරියුත් මහරහතන් වහන්සේත් ඒ වෙනකොට වියපත් භාවයට පත්වෙලා.
ඉතින් මේ වටපිටාව තුල උන්වහන්සේලා කොයි තරම් සම්බුද්ධ ශාසනය විවාදාපන්න නොවන විදිහට සම්බුද්ධ ශාසනය අකලංකව පවතින විදිහට කටයුතු කරන්න කියලා කොයි තරම් අනුශාසනා කරලා තියෙනවාද, ඒ රහතන් වහන්සේලාගේ අදහස කුමක්ද සම්බුද්ධ ශාසනයේ ඒකීය භාවය පිණිස කියන එක තේරුම් අරගන්නට ඉතාමත් කදිම අවස්ථාවක් හැටියට සඞ්ගීති සුත්‍රය අපිට දකින්න පුළුවන්කම තියෙනවා විශේෂයෙන් එහි නිධානය දිහා බලනකොට. අපි ඊළඟට යොමුවෙන්නේ සඞ්ගීති සුත්‍රයෙන් විකාෂනයවන ධර්ම පද්ධතිය ගැන හා එහි තිබෙන අති ගම්භීර ධර්ම විස්තාරණයන් පිළිබඳව.
කස්සප හාමුදුරුවනේ, සැරියුත් මහරහතන් වහන්සේ ආරම්භ කරනවා පළවෙනි කාරණාව හැටියට "සබ්බෙ සත්තා ආහාරට්ඨිතිකා" කියලා "සියලු සත්වයෝ ආහාරයෙන් යැපේ" කියන මෙන්න මේ බෞද්ධ ප්‍රධානතම සිද්ධාන්තයකින් තමයි උන්වහන්සේ ධර්ම විශ්ලේෂණය ආරම්භ කරන්නේ. කස්සප හාමුදුරුවනේ, මොකක්ද මේ "සියලු සත්වයෝ ආහාරයෙන් යැපේ" කිවුවහම ධර්මය නොදන්නා කෙනෙකුට හිතෙන්න පුළුවන්, 'ආහාරයෙන් යැපෙනවා’ කියන එක තුල මොකක්ද තියෙන සෛද්ධාන්තික පසුබිම, මොකක්ද මේකේ තියෙන ගැඹුර කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. අපි ඒ පිළිබඳව හොඳ ධර්මානුකූල විග්‍රහයක් කරන්නට ඕනේ.
~~ සියලු සත්වයෝ ආහාරයෙන් යැපෙත් ~~
**කොත්මලේ කුමාරකස්සප හිමි:-
'"සබ්බෙ සත්තා ආහාරට්ඨිතිකා" කියලා ස්වාමීන්වහන්ස, මෙතැනදී භාවිතාවෙන දේ සෝපාක හාමුදුරුවන්ගෙන් "එකං නාම කිං" ( 'එක' කියන්නේ මොකක්ද කියලා) අහනකොට ඒ සදහා පිළිතුර ලැබුනේ "සබ්බෙ සත්තා ආහාරට්ඨිතිකා" කියලා "සියලු සත්වයෝ ආහාරයෙන් යැපෙත් කියන එකෙන්. ඒ අනුව බලනකොට පේනවා මේ ධර්මය තුල විශ්ලේෂණයවන ඉතාමාත් වැදගත් සිද්ධාන්තයක් තමයි 'සියළු සත්වයෝ ආහාරයෙන් යැපෙත්' කියන මේ වාක්‍ය. ‘සියළු සත්වයෝ ආහාරයෙන් යැපෙත්’ කියනකොට මේ තුළට සියලු සත්වයෝ අයත් වෙන්න ඕනේ. සියලු සත්වයෝ කියනකොට කාම, රූප, අරූප කියන මේ තුන් භූමිය අනුව ගියා වූ යම්තාක් පුද්ගලභාව වශයෙන් අපි කතා කරන 'සත්වයෙක්', 'කෙනෙක්' ගැන කතා කරනවා නම් ඒ සියලුම දෙනා මේ තුළට අයිති වෙන්න ඕනේ.
එතකොට ඒ හැම කෙනෙක්ම 'ආහාරට්ඨිතිකා' - ආහාරය නිසා තමයි පවතින්නේ. එක පැත්තකින් මෙහි අභ්‍යන්තරයෙන් ගෙනල්ලා දෙනවා අනාත්ම ලක්ෂණය. ඒ කියන්නේ 'සියලු සත්වයෝ' කියන තැන ආහාරය නිසා පවතිනවා මිසක එතන අහාරය නැත්නම් පැවැත්මක් නැහැ කියන තැනයි ගොඩනැගෙන්නේ. එහෙනම් මේ ආහර ඇති කල්හි පැවැත්මත්, ආහාර නැතිවෙනකොට නැතිවීමත් කියන අනාත්ම සන්දර්භය තමයි මුලික ලෙසම ඉදිරිපත් කරන්නේ. විශේෂයෙන්ම "නිර්මාණ වාදය" එකහෙළා ප්‍රතික්ෂේප කිරීමක් මේ පුංචි වාක්‍ය ඛණ්ඩය තුළින් සම්පුර්ණම සිද්ධ වෙනවා. එදා ජන සමාජයටත්, අද ජන සමාජයටත් සම්පුර්ණම ප්‍රකාශ කරන්නට ඕනේ මුලිකම ධර්ම අර්ථය ප්‍රකාශ කිරීම සදහා මේ එකම වාක්‍ය ඛණ්ඩය ප්‍රමාණවත් වෙනවා.
මේක ඇතුලත මුළු බුද්ධ ශාසනය තුල විග්‍රහවෙන සියලුම ධර්ම ස්කන්ධය බහාලා අර්ථ විවරණය කරන්නට පුළුවන්කමක් තියෙනවා. මොකද, ඒ තරම් ගැඹුරට අරගෙන යන්නට පුළුවන් , ඒ තරම් ගැඹුරු විෂයක් කතාවෙන දෙයක් තමයි "සියලු සත්වයෝ ආහාරයෙන් යැපෙත්" කියලා මේ කතා කරන දේ. එතකොට සියලු සත්වයෝ ආහාරයෙන් යැපෙත් කියලා කතා කරනකොට අපිට කල්පනා කරලා බලන්නට වෙනවා මොකක්ද මේ කතා කරන ආහාරය, මොකක් පිළිබඳව ද මේ දේශනාවෙන් මේ සිද්ධ කරන්නේ කියලා
ඔක්කොම ආහාරයෙන් යැපෙනවා කිවුවහම බත්, පාන්, කවුපි, මුං ඇට කන නිසාද සියලු සත්වයෝ, එතකොට දෙවියෝ මොනවද කන්නේ, බ්‍රහ්මයෝ මොනවද කන්නේ, ඊටපස්සේ අසංඥ සත්වයෝ මොනවද කන්නේ? කියලා කෙනෙකුට සාධාරණ ප්‍රශ්නයක් ඇතිවෙන්න පුළුවන්කම තියෙනවා "සියලු සත්වයෝ ආහාරයෙන් යැපෙත්" කියනකොට ඇත්තටම කොහොමද සියලු සත්වයෝ ආහාරයෙන් යැපෙනවා කියන එක සිද්ධ වන්නේ කියන එක ගැන. මේ කාරණාව තුල ඉතාම පැහැදිලිව තේරුම් ගන්නට ඕනේ දේ තමයි ස්වාමීන් වහන්ස, ආහාරය කියන එක කොහොමද අපි අර්ථ ගන්වන්නේ කියන කාරණාව.
~~ සතර ආහාරයක් ~~
ආහාරය කියනකොට අපි ප්‍රධාන වශයෙන් කතා කරනවා සතර ආහාරයක්. සතර ආහාරයක් කියනකොට කබලීකාර ආහාරය එක ආහාර කොටසක් පමණයි. ඒ වගේම ඵස්ස ආහාර, මනෝ සංචේතනා ආහාර, විඤ‍්ඤාණ ආහාර කියලා අපි ආහාරය තවත් තුන් ආකාරයකින් කතා කරනවා.
**මාන්කඩවල නන්දරතන ස්වාමීන් වහන්සේ :-
කස්සප හාමුදුරුවනේ, මේ ආහාරය පිළිබඳව සත්වයන්ගේ පැවැත්ම සදහා හේතුවෙන ආහාරය පිළිබඳව මෙතරම් විග්‍රහයක් දැක්වෙන එකම ශාසනය තමයි සම්බුද්ධ ශාසනය කියලා කියන්නේ. ඒ කියන්නේ ඕනෑම කෙනෙක් කනබොන දේ ගැන කතා කරන්න පුළුවන් සියුම් හෝ රළු හෝ ආහාරයක් ගැන කතා කරන්න පුළුවන්. නමුත් මේ කබලීකාර ආහාරය වන කනබොන දේ හැරුණු කොට ඵස්ස ආහාරය, මනෝ සංචේතනා ආහාරය, විඤ‍්ඤාණ ආහාරය කියලා මෙබඳු වූ විශ්ලේෂණයක් වෙනත් කිසිදු තැනක දැකගන්න හම්බවෙන්නේ නැහැ.
~~කුමක්ද මේ ‘ආහාරය’ යැයි කියන්නේ ~~
**කොත්මලේ කුමාරකස්සප හිමි:-
ඒ විශ්ලේෂණය ස්වාමීන් වහන්ස, අතිශය ගැඹුරට අරගෙන යන්නට පුළුවන් දෙයක්. අපි මෙතැනදී එක කොටසකට සීමා කරලා එක ප්‍රමාණයකින් කතා කරන්න පුළුවන්කමත් තියෙනවා, ඒ වගේම පොදුවේ අපිට කතා කරන්න පුළුවන්කමක් තියෙනවා. පොදුවේ මේ පිළිබඳව කතා කරනවා නම් "සො ච යං යං ඵලං ජනෙති තං තං ආහරති නාම තස්මා ආහාරොති වුච්චති" (දීඝ නිකාය අට්ඨකතා -සුමඞ්ගල විලාසිනී -711 පිටුව) - ආහාරය පිළිබඳව අර්ථකථනය කරන්නේ ඒ විදිහට. ආහාරය කියන එකෙන් අර්ථකථනය කරන්නේ ඔබ කන බත්, පාන්, කවුපි, මුං ඇට කියන අර්ථකථනයෙන් නෙමෙයි."සො ච යං යං ඵලං ජනෙති තං තං ආහරති නාම තස්මා ආහාරොති වුච්චති" - යම් යම් ඵලයක් උපදවනවා නම් ඒ ඵලය උපදවන දේ ගෙන එනු ලබන නිසා එහෙයින් 'ආහාරය' යැයි කියනු ලැබේ.
එතකොට යම් ඵලයක් උපදවනවා නම් ඒ ඵල නිෂ්පත්තියට ආදාල කාරණාවන් ගෙන එන නිසා තමයි ඒකට 'ආහාර' යැයි කියලා කියන්නේ. කනබොන ආහාරය විතරක් නෙමෙයි එතකොට මෙතන 'ආහාර' යැයි කියන වචනයෙන් සංගෘහිත කළේ. ඵල නිෂ්පත්තිය සදහා හේතුවෙන සියලුම කාරණාවන් මෙතනදී 'ආහාර' ලෙස තමයි ගණනය කරනු ලැබෙන්නේ. යම්කිසි ඵලයක් නිපදවීම සදහා යම් හේතුවක් වුනා නම් ඒ හේතුවුන කරුණු සමුහය, නැත්නම් ප්‍රත්‍ය වුනු කරුණු සමුහය ආහාරයක් හැටියට තමයි මෙතැනදී ගණනය කරනු ලබන්නේ. ගහක් පැළවෙනකොට ඒ ගහ පැළවෙන්නට අවශ්‍ය පස් ටික, ජලය, උණුසුම හා වාතය කියන මේ ගුණාංග ටික මේ ගස නිර්මාණය කිරීම කියන ඵලයට පසුබිම සකස් කරන ප්‍රත්‍ය ධර්මතා ටික.
එතකොට ගස රෝපණය වුනා කියන තැන තියෙන ආහාර ස්වාභාවය ලෙස අපිට කතා කරන්න වෙන්නේ පස් ටික, ජලය, උණුසුම හා වාතය කියන මේ ගුණාංග ටික. යම්කිසි ඵලයක් ගෙන එනු ලබනවා නම් ඒ ගෙන ඒම පිණිස හේතුවන්නා වූ ඒ කාරණා ටික තමයි මෙතැනදී ‘ආහාර’ කියන පොදු වචනය තුල සීමා වුනේ. අපි ආහාර කියන කෑම බීම කියන ඉතාමත් පටු සීමාවක් තුල පවත්වා ගත්තට "සබ්බෙ සත්තා ආහාරට්ඨිතිකා" කියලා සිද්ධවෙන මේ විවරණය තුල සිද්ධ වෙන්නේ මහා විශාල පරිමාවකින් තමයි 'ආහාරය' කියන මේ පදය අර්ථකථනයට භාජනය වෙන්නේ.
මතු සම්බන්ධයි
අතිපූජනීය මාන්කඩවල නන්දරතන ස්වාමීන් වහන්සේ හා අතිපුජනීය කොත්මලේ කුමාරකස්සප ස්වාමීන් වහන්සේ විසින්
මේ උතුම් සඳහම් ලිපිය කියවීමට හෝ බෙදා හැරීමට කැමති පිංවතුන් 0725400094 අංකයට වට්ස් ඇප් පණිවිඩයක් යොමු කරන්න.
දිනපතා මෙවැනි උතුම් සඳහම් ලිපි කියවීමට හෝ බෙදා හැරීමට කැමති පිංවතුන්ට අපගේ සඳහම් සමූහය සමඟ එක් විය හැක.
chat.whatsapp.com/LDw0pu6WqhrFcZFxMuHxJu
මෙවැනි වටිනා සඳහම් ලිපි එකතුවකින් යුතු අපගේ නිල වෙබ් පිටුවට පිවිසෙන්න
pansilmaluwa.lk
තෙරුවන් සරණයි
42 - 3
නමෝ තස්ස භගවතෝ අරහං සම්මා සම්බුද්ධස්ස...සියලු සත්වයෝ මේ දහම් පරියාප්තියෙන් සුවපත් වේවා..මේ ජීවිතයේදීම උතුම් චතුර්යාර්ය සත්‍ය අවබෝධය පිණිසම මේ පිං අපටත් මවු දෙමාපියන්ටත් සියලු දෙනාටත් හේතු වේවා..සාදූ සාදූ සාදු
"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා අට්ඨංගමග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූති"
"දසබලයන් වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැගී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ඨාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රී මුඛ බුද්ධවචන ගංගාවෝ (ලෝ සතුන්ගේ සසර දුක නිවාලමින්) බොහෝ කල් ගලා බස්නා සේක්වා!"
(සළායතන වර්ගය - උද්දාන ගාථා)