in the future - u will be able to do some more stuff here,,,!! like pat catgirl- i mean um yeah... for now u can only see others's posts :c
දානමාන ආදී පිංකම් කටයුතුවලදී කාන්තාවන් කොයිතරම් මූලිකත්වය ගෙන කටයුතු කළත් ආගමික කටයුතුවලදී කාන්තාවන්ට වැට බැඳෙන අවස්ථා ද නැතුවාම නොවේ. එසේම එවැනි කාන්තාවන් ඇගයෙන අවස්ථා සේම විවේචනයට බඳුන් වෙන අවස්ථා ද ඇත. මේ නිසා නිකිණි පොහොය නිමිති කරගෙන මෙවර අපේ ලිපියට මාතෘකා කරගන්නට අදහස් කළේ සමාජය තුළ කාන්තාවන් සම්බන්ධ පවතින එවැනි මත හා අදහස් කිහිපයක් ගැනයි. ඒ සඳහා සුපුරුදු පරිදි මෙවරත් අප අනුශාසනා ලබාගත්තේ පූජ්‍ය කැකිරාවේ සුදස්සන ස්වාමීන් වහන්සේගෙනි. උන්වහන්සේ සමඟ සිදුකළ සාකච්ඡාව ඇසුරෙන් මෙම ලිපිය සැකසේ.
*අද වෙනකොට පිරිත් නූල බඳින්න, පිරිත් පැන් ගන්න වගේ කටයුතුවලට කාන්තාවන් භික්ෂූන් වහන්සේලාට බොහෝ සෙයින් සමීප වෙන බවක් පේන්න තියනවා. ඒක එහෙම වුණා කියලා ගැටලුවක් නැද්ද අපේ හාමුදුරුවනේ?
බුද්ධ ධර්මය තුළ හැමදේකටම මුල් වෙන්නේ චේතනාව. උදාහරණයක් විදියට ගත්තොත් බුද්ධ පරිනිර්වාණය වෙලාවෙත් පැනනැගුණ ප්‍රශ්නයක් තමයි පිරිනිවන් පාපු බුදුහාමුදුරුවන්ගේ ශ්‍රී දේහයට කාන්තාවන් මුලින්ම නමස්කාර කිරීම. ඊටපස්සේ බුදුසිරුර කාන්තාවන්ගේ කදුළුවලින් තෙමිලා ගියා. ඒ නිසා පළවැනි සංගායනාවේදී ආනන්ද හාමුදුරුවන්ට චෝදනාවක් එල්ල වුණා කාන්තාවන්ට මුලින්ම බුදුන්ගේ ශ්‍රී දේහය වන්දනා කරන්න ඉඩ දීලා කාන්තාවන්ගේ කදුළුවලින් බුදුසිරුර කිළුටු වුණා කියලා. හැබැයි එතැන චේතනාව වුණේ එහෙම දෙයක් නෙමෙයි.
ඒ ගැන සඳහන් වෙනවා දුල්වා කියන ටිබෙට් විනය ග්‍රන්ථයේ. එහෙම බලද්දී ඇත්තටම පිරිත් නූල් බඳිනවා කියන්නෙ සංස්කෘතික කාරණාවක්. ඒකනිසා ඒක ගැටලුවක් වෙන්නේ නැහැ.
*එතකොට ඔබවහන්සේ කියන්නේ වස් කාලසීමාව තුළදී භික්ෂූන් වහන්සේලාට ආවතේව කිරීමට කාන්තාවන් ඉදිරිපත් වීමත් ගැටලුවක් නෙවෙයිද?
ඇත්තෙන්ම අද වනවිට ගැහැනු පිරිමි භේදයක් නැතුව හැමෝම රැකියාවල නිරත වෙනවා. රැකියා කටයුතුවලදී එහෙම වුණාට බුදුදහම තුළ වගේම ක්‍රිස්තියානි ධර්මය තුළත් ආගමික කටයුතුවලට ඉදිරියෙන්ම සහභාගී වෙන්නේ කාන්තාවන්. ඉස්ලාම් ධර්මය තුළ කාන්තාවන්ට පල්ලියට යාමට අවසරයක් නැති නිසා පුරුෂ පාර්ශවය තමයි වැඩි වශයෙන් ආගමික කටයුතුවල නිරත වෙන්නේ.
අද වෙද්දී පෝයට පන්සලක සිල් මණ්ඩපයක් ගත්තත් කාන්තාවන් තමයි බහුතරයක් දකින්න ලැබෙන්නේ. හැබැයි ඒක අද විතරක් දකින්න ලැබුණ දෙයක් නෙමෙයි. ආගමික කටයුතුවලදී කාන්තාවන් පෙරමුණ ගැනීම බුද්ධ කාලයේ ඉඳලාම පැවත එන දෙයක්. ධම්මපදට්ඨ කතාවේ යථා දණ්ඩේන ගෝපාලෝ කියන නිදාන කතාවේ සදහන් වෙනවා විශාඛාව හදපු පූර්වාරාමයේත් එකවරක් කාන්තාවන් 500ක් පමණ සිල් සමාදන් වුණු බව. ඒ කාලෙ ඉඳලා පින්කම් කටයුතුවලදී කාන්තාවන් මූලිකත්වය අරගෙන තියෙනවා. ඒ වගේම අද වෙද්දී විහාරාරාම ඉදිකිරීමේදී පවා කාන්තාවන් මූලිකව කටයුතු කරන බවක් දකින්න ලැබෙනවා. ඉතින් ඒ නිසා චේතනාව යහපත්ව පවතින තාක් ඒකෙ වරදක් දකින්න බෑ.
*බෞද්ධ සාහිත්‍යයේ එක තැනක සඳහන් වෙනවා යශෝධරා දේවිය පිරිනිවන් පෑවට පස්සේ අදාහනය කිරීමේදී බුදුහාමුදුරුවෝ දේහයේ එක කොනකින් අල්ලා ගිය බවක්. ඒක ඇත්තක්ද හාමුදුරුවනේ?
ඒක ඇත්තක්ද නැද්ද කියන්න හරියටම කියන්න අමාරුයි. මොකද සාහිත්‍යය කියන්නේ කල්පිතයත් සත්‍යත් අතර ගොඩනැගුණ දෙයක්. ඒක නිසා ඒ වගේ දේවල් හරියටම වුණා කියලා කියන්න අමාරුයි. මොකද ඒ දේවල් ගවේෂණාත්මක විග්‍රහ කරන්න අපහසුයි.
*අද වෙද්දි හාමුදුරුවනේ ඇතැම් භික්ෂූන් වහන්සේලා තමන්ගේ මව මහලු වියට පත්වුණාට පස්සේ බලා කියාගැනීමට කෙනෙක් නොමැති නිසා මව පන්සලට රැගෙන ගොස් බලාගැනීම හෝ මහගෙදර නැවතී බලාකියාගැනීම සිදුවෙනවා. ඔබවහන්සේ ඒ තත්ත්වය දකින්නේ කොයි ආකාරයෙන්ද?
ඇත්තටම ඒ ගැටලුව බුද්ධ කාලයේ ඉඳන්ම පැනනැගුන දෙයක්. මේ සම්බන්ධයෙන් මගදයේ මිනිස්සු උද්ඝෝෂණ පවා සංවිධානය කරලා තිබුණා. මහාවග්ගපාලියේ සඳහන් වෙනවා දෙමව්පියන් අපුත්තක කරන, ගැහැනු වැන්දඹු කරන, කුල නසන මේ ශ්‍රමණයාට මගදයට එන්න දෙන්න එපා කියලා. ඒකට මූලිකම හේතුව වුණේ තරුණයන් පැවිදිවුණාට පස්සේ ඔහු පවුලේ එකම දරුවා නම් අවසන් කාලයේ දෙමව්පියන් තනිවීම, කුල පරම්පරාව ගෙනයාමට කෙනෙකු නොමැතිවීම වගේ හේතු කාරණායි. ඒක නිසා බුදුහාමුදුරුවෝ නීතියක් පැනෙව්වා දෙමව්පියන්ගේ වගේම බිරිඳගෙත් අවසරයක් නැතුව කිසිම කෙනෙක් පැවිදි කරන්න එපා කියලා. ඒ වගේම තමයි විනය නීතියක් පනවලා දේශනා කළා භික්ෂූන් වහන්සේලා තමන්ට ලැබෙන පිණ්ඩපාතයෙන් කොටසක් අම්මාටයි තාත්තටයි දුන්නට කමක් නැහැ කියලා. බුදුහාමුදුරුවෝ අම්මාටයි තාත්තටයි සළකන එක ගැටලුවක් විදියට දැක්කේ නැහැ. ඒක ඇත්තටම ගැටලුවක් නෙමෙයි.
*භික්ෂූන් වහන්සේලා කාන්තාවන් සම්බන්ධයෙන් පිළිපැදිය යුත්තේ කුමන පිළිවෙතක්ද යන වග වරක් බුදුරජාණන්වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට දේශනාකොට තිබෙනවා. වර්තමානයේ ඒ පිළිවෙත අනුගමනය වෙනවද අපේ හාමුදුරුවනේ?
ආනන්ද හාමුදුරුවෝ මුලින්ම බුදුහාමුදුරුවෝ ළඟට ගිහින් අහනවා භික්ෂුන්වහන්සේ නමක් කාන්තාවන් සම්බන්ධයෙන් අනුගමනය කරන්න ඕන මොනවගේ පිළිවෙතක්ද කියලා. ඒ වෙලාවේ බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා කාන්තාවක් දැක්කොත් නොදැක්කා වගේ ඉන්න කියලා. ඒ වෙලාවේ ආනන්ද හාමුදුරුවෝ පෙරළා අහනවා අහම්බෙන් හරි දැක්කොත් මොකද කරන්නේ කියලා. එහෙම වෙලාවට කාන්තාවන් සමඟ කතාවට යන්න එපා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. ඒත් අහම්බෙන් හරි කතාබහ කිරීමට සිදු වුණොත් කුමක්ද සිදු කරන්න ඕන කියලා ආනන්ද හාමුදුරුවෝ අහනවා. ඒ වගේ වෙලාවට භික්ෂූන් වහන්සේලා සතර සතිපට්ඨානයේ පිහිටලා කටයුතු කරන්න ඕන කියලා ආනන්ද හාමුදුරුවෝ අවධාරණය කරනවා. එතැනින් අදහස් වෙන්නේ කාන්තාවන්ට ඇඟිල්ල දිගුකිරීමක් නෙමෙයි. භික්ෂූන් වහන්සේලාට තමන්ගේ ආත්මය දමනය කරගන්න කියන එක තමයි අවධාරණය කරන්නේ.
ඊට අමතරව තරුණියකට තරුණයෙක් කෙරෙහි හැඟීමක් ඇතිවෙන්න වගේම තරුණයෙක්ට තරුණියක් කෙරෙහි හැඟීමක් ඇතිවෙන්න කාරණා දැක්වෙන සූත්‍ර දේශනාවන් දෙකක්ම තියෙනවා. ඒ තමයි ස්ත්‍රී බන්ධන සූත්‍රය සහ පුරුෂ බන්ධන සූත්‍රය. ඒ සූත්‍රය ඇතුළේ කතා කරන කාරණා 08ක් හේතු කරගෙන තමයි කෙනෙක්ට තමන්ගේ විරුද්ධ ලිංගිකයා කෙරෙහි ආකර්ෂණය ඇතිවෙන්නේ. ඒ හේතු අතර එකක් තමයි හිනාව කියන්නේ. දෙවැනි එක තමයි රූපය. ඊළඟ කාරණය කතාව. ඒ විදියට හිනාව, රූපය, කතාව වගේ දේවල් නිසා විරුද්ධ ලිංගිකයා කෙරෙහි ආකර්ෂණයක් ඇති වුණාට පස්සේ ඊළඟට බලපාන කාරණය තමයි ගීතය කියන්නේ. ඒකෙන් අදහස්වෙන්නේ රසවින්දනය කියන කාරණාවයි. ඊට අමතරව හැඬීමෙන් නැත්නම් සහකම්පනය නිසාත් කෙනෙක්ට තව කෙනෙක් ගැන හැඟීමක් ඇතිවෙන්න පුළුවන්. තව ආකල්ප, අඳින පළඳින විදිය, තෑගිබෝග ලබාදීම වගේම ස්පර්ශය නිසාත් ආකර්ෂණයක් ඇතිවෙන්න පුළුවන්. ඒ හැම කාරණාවක්ම ලිංගිකත්වය කියන කාරණාවත් එක්ක බැඳිලා තියෙනවා. එතැනදී ලිංගිකත්වය කියන දේ ආහාර, නින්ද වගේ දේවල් ස්වභාවයෙන්ම මිනිස් අවශ්‍යතාවයක්.
ඒ වගේම තමයි ලිංගිකත්වය කියන සාධකය නිසා භික්ෂු ශාසනය තුළත් ගැටලුකාරී තත්ත්වයන් උද්ගත වුණා. සුදින්න කියන ස්වාමීන් වහන්සේ ගිහිකළ තමන්ගේ භාර්යාව එක්ක අඹුසැමි සම්බන්ධතා පැවැත්වීමෙන් එම කාන්තාව ගැබ්ගෙන තිබුණා. ඒක නිසා බුදුහාමුදුරුවෝ ශික්ෂාපදයක් පැනෙව්වා මෛථුන්‍ය ශික්ෂාපදය කියලා. එතැනදි කිසිම භික්ෂූන් වහන්සේ නමකට කාන්තාවන් සමඟ ලිංගික සම්බන්ධතා පවත්වන්න බැහැ කියන කාරණය තරයේම සඳහන් කරලා තිබෙනවා. උපසම්පදා භික්ෂූන් වහන්සේලාට පනවන ප්‍රාතිමෝක්ෂය කියන ශික්ෂාපද 227න් පළවැනි එක තමයි මේ කියන ශික්ෂාපදය. ඒකනිසා උපසම්පදා ලබන භික්ෂුවක් අනිවාර්යයෙන්ම ඒ සිල්පදය පිළිපදින්න ඕනෑ.
*සමාජය තුළ පවතින තවත් මතයක් තමයි හාමුදුරුවනේ කාන්තාවකට මෘත ශරීරයක් කරගහන්න බැහැ කියන එක. බුදුදහමට අනුව බැලුවොත් එහි සත්‍ය අසත්‍යතාව කුමක්ද?
ඒ මතය හින්දු දහමේ සඳහන් වෙන දෙයක්. බමුණු දහමේ තමයි සඳහන් වෙන්නේ කාන්තාවකට තමන්ගේ දෙමව්පියන්ගේ වගේම සැමියාගේ මිනිය කරගහන්න බැහැ කියලා. හැබැයි බුදුහාමුදුරුවෝ කොතැනකවත් සඳහන් කරලා නැහැ කාන්තාවකට මිනී පෙට්ටියක් කරගහන්න බැහැ කියලා.
*ඒ වගේම තමයි හාමුදුරුවනේ නුවර දළදා පෙරහරට පස්සේ පැවැත්වෙන සතර මහාදේවාල පෙරහරේ පත්තිනි දේවාල පෙරහර හැර වෙනත් කිසිම පෙරහරක කාන්තාවන්ට නර්තනයේ යෙදෙන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඒ පිළිබඳ ඔබවහන්සේගේ අදහස කුමක්ද?
මම හිතන්නේ කිල්ල කියන හේතුව මුල් කරගෙන කාන්තාවන්ට දළදා පෙරහරේ නටන්න නොදීම සාකච්ඡා කළ යුතු කාරණාවක්. කාන්තාවන්ටත් ඒ අයිතිය ලැබෙන්න ඕන. බුදුහාමුදුරුවෝ දේශනා කළේ නුවණැති සිල්වත් ස්ත්‍රිය ශ්‍රේෂ්ඨයි කියලා. ඒක නිසා හැමවෙලාවෙම පිරිමි අය විතරක් පණ්ඩිත වෙන්නේ නැහැ. කාන්තාවනුත් පණ්ඩිතයි කියන කාරණාව බුදුහාමුදුරුවෝ අවධාරණය කරනවා. කුණ්ඩල කේෂී කතා වස්තුවේදී සොරාගෙන් බේරීමට කුණ්ඩල කේෂිය කටයුතු කළ ආකාරයෙන්ම කාන්තාවන්ගේ ස්ථානෝචිත ප්‍රඥාව පැහැදිලි වෙනවා. ඒක නිසා ස්ත්‍රියත් තමන්ගේ අයිතිවාසිකම් දිනාගන්න සටන් කරන්න ඕන. මොකද අද වෙද්දී ආගමික අයිතිවාසිකම් දිනාගැනීම ඇතුළෙත් කාන්තාව පසුගාමීයි. කාන්තාවන්ට අනිවාර්යයෙන්ම ආගම තුළ තැනක් ලැබිය යුත්තේ ආගම කියන දේ ගොඩනැගෙන්නෙත් කාන්තාවන්ගේ කැපවීම බලපාන නිසයි. ඒ දේ ලබාගන්න කාන්තාවක් සටන් කළ යුතුයි. බුද්ධ කාලයේ කාන්තාවන්ට පැවිද්ද පවා ලැබුණේ ඒ විදියට සටන් කළ නිසයි.
✍️නෙත්මි තෂාරා
#Modernhamuduruwo
#Dharanee #newspaper #DharaneeDigital
www.dharanee.lk
70 - 6
බුදුරදුන් වැඩිපුරම වැළදූවේ ඌරු මස් #PorkCurry ( ත්‍රිපිටකයේන් පෙන්වීම )
Full 👉 https://youtu.be/29bwt6BWf6g
251 - 60
අලුතින් දකින අලුතින් හිතන Modern හිමිවරු