සියලුම පිරිත් සහ සූත්‍ර | Pirith & Suthra

22 videos • 96 views • by DHARMA TV පිරිත’ යනු කුමක්ද? පිරිත යන සිංහල වචනය පාලි “පරිත්ත” යන ශබ්දයෙන් ප්‍රභවය වී තිබෙනවා‍. පාලි “පරිත්ත” ශබ්දය සංස්කෘත “පරිත්‍ර” ශබ්දයේ විකාශනයක්. එය ද පරි ඡත්ත්‍ර “පාලනේ” යන ශබ්දයේ භාවයෙන් සකස් වී තිබෙනවා. ‘හාත්පසින් සර්වප්‍රකාරයෙන් ආරක්ෂාව සලසා දීම, මෙහි අර්ථයයි. අප සම්මාසම්බුදුපියාණන් වහන්සේ දේශනාකර වදාළ සූත්‍ර, විනය හා අභිධර්ම යන ත්‍රිපිටකයෙන් තෝරාබේරාගෙන දේශනා කරනු ලබන සුවිශේෂ සූත්‍ර ධර්ම විසිහතරකින් යුත් දේශනාවක් පිරිත් යනුවෙන් හඳුන්වනු ලබනවා. * පිරිතෙහි තිබෙන විශේෂත්වය කුමක්ද? “වහන්සේ” යන ගෞරවාර්ථයෙන් පොතක් අපේ බෞද්ධ සාහිත්‍යයේ උගන්වන්නේ ජාතක පොත් වහන්සේත් පිරුවානා පොත් වහන්සේත් පමණයි. ගැඹුරු මානසික භක්තිය තුළින් ගොඩනැ‍ඟෙන සත්‍යවූත් හරවත්වූත් වාග්මාලාවට ඇත්තේ අපරිමිත බලයක්. සත්‍ය වූ ගුණ සමුදායක් දැඩි අධිෂ්ඨානයකින් මෙනෙහි කිරීමෙන් සිදුකරනු ලබන ආශිර්වාද දේශනාවක් වශයෙන් පිරිත් දේශනාව හඳුන්වන්න පුළුවන්.‍ මේ නිසා පිරිතේ තියෙන්නේ අසීමිත බලයක්. ශක්තියක්. පිරිත් දේශනා කරනු ලබන්නේ මානුෂිය ගුණාංග පෙරදැරි කරගෙන ධර්මානුකූල ආශිර්වාදයක් ද සහිතවවීම පිරිත් දේශනාවක ඇති සුවිශේෂත්වය ලෙස හඳුන්වන්න පුළුවන්. * භික්ෂූන් වහන්සේ දේශනා කරන පිරිතක සහ ගිහි පිරිතකට තියන වෙනස්කම් මොනවාද? ස්වාමීන් වහන්සේලා කියන්නේ පිරිත් දේශනා ඇතුළු ධර්මානුකූල කටයුතු සඳහාම කැප වී සිටින පිරිසක්. නමුත් ගිහියන් පිරිත් දේශනා කරන්නේ අවස්ථානුකූලව විතරයි. පිරිත් දේශනාවක් කරන පිරිත් මණ්ඩපය ත්‍රිවිධ රත්නයම වැඩ සිටින ස්ථානයක් වන්නේ මහා සංඝරත්නය පිරිත් දේශනාව සිදුකරන අවස්ථාවකදී විතරයි. මහා සංඝරත්නය පිරිත් දේශනා කරන අවස්ථාවලදී මණ්ඩපය බුද්ධරත්නය (සධාතුක කරඬුව) ධර්මරත්නය (පිරුවානාපොත් වහන්සේ), සහ මහා සංඝරත්නය වැඩ සිටිනවා. මෙය දකින්නට ලැබෙන්නේ ගෞරවනීය මහා සංඝරත්නය පිරිත් දේශනා කරන අවස්ථාවකදීම විතරයි. * පිරිත් මණ්ඩපයක පිරිත් දේශනා කිරීමට ගිහියන්ට අයිතියක් තියෙනවාද? පිරිත් මණ්ඩපය උතුම් වූ පිරිත් ධර්මය දේශනා කිරීමට හෙළ සිරිත් විරිත් අනුව සකසාගනු ලබන ස්ථානයක්. උතුම් වූ පිරිත් ධර්මය දේශනා කිරී‍ෙම්දී ධර්මයට ගෞරව දැක්වීමක් වශයෙන් චරිත්‍රානුකූලව පිරිත් මණ්ඩපය යොදාගන්නවා. මෙහිදී ගෞරවනීය ස්වාමීන් වහන්සේලා පිරිත් දේශනා කරනු ලබන මණ්ඩපයකත් ගිහියන් පිරිත් දේශනා කරන මණ්ඩපයකත් පැහැදිලි වෙනස්කම් ගොඩක් තියෙනවා. * බෝධිපූජා, සෙත්කවි, ආදී බෞද්ධ සෙත් ප්‍රාර්ථනා ක්‍රම සහ පිරිත අතර තියන වෙනස්කම් මොනවාද? සෙත්කවි, බෝධි පූජා ආදියෙන් ප්‍රාර්ථනා ක්‍රම බෞද්ධ ජනතාව සංස්කෘතික බැඳීම් මත කරනු ලබන සෙත් ප්‍රාර්ථනා ක්‍රම වශයෙන් හඳුන්වන්න පුළුවන්.ස්වභාවික පරිසරයේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරමින් පාරිසරික සහ සංස්කෘතික භක්තිය පෙරදැරි කරගෙන කරන සෙත් ප්‍රාර්ථනා වශයෙන් සෙත්කවි, බෝධි පූජා හඳුන්වන්න පුළුවන්. නමුත් පිරිත් දේශනාවෙන් කෙරෙන්නේ ධර්මයේ සත්‍යතාව මෙනෙහි කර ආශිර්වාදයක්. බොහෝ පිරිත් සූත්‍ර අතීතයේ දේශනා කළේ සත්‍යක්‍රියා වශයෙන්. අංගුලිමාල සූත්‍රය, රතන සූත්‍රය වැනි සූත්‍රවල අදටත් එම ලක්ෂණ තියෙනවා. * පිරිත් දේශනා කිරීමේදී ස්වාමීන් වහන්සේලා සිදුකරනු ලබන විශේෂ වත්පිළිවෙත් මොනවාද? ස්වාමීන්වහන්සේලා පිරිත් දේශනා කරන මණ්ඩපයට වැඩම කරන්නේ සධාතුක කරඬුව සහ පිරුවානා පොත් වහන්සේ පෙරටු කරගන. ස්වාමීන් වහන්සේලා පිරිත් දේශනාව අවසන් කරන තුරුම පිරවානා පොත් වහන්සේ මණ්ඩපය තුළ වැඩ සිටිනවා. ආරාධනා ගාථා සඡ්ඣායනය කර පිරිත් දේශනාවට ආරාධනා කරන තුරු උන්වහන්සේලා පිරිත් දේශනාව ආරම්භ කරන්නේ නැහැ. මෙය ස්වාමීන් වහන්සේලා පිරිත දේශනාවේදී සිදුකරන සුවිශේෂී චාරිත්‍රයක් වශයෙන් හඳුන්වන්න පුළුවන්. * පිරිත් දේශනා කිරීම සාමාන්‍යයෙන් සෙත් පැතීමේ ක්‍රමවේදයන්ට වඩා ප්‍රබල සෙත් පැතීමේ ක්‍රමවේදයක් කිවේවොත් නිවරදිද? පිරිත් දේශනාව ප්‍රබලම සෙත් පැතීමේ ක්‍රමවේදය වශයෙන් හැඳින්වීමේ වරදක් නැහැ. ශ්‍රී සද්ධර්මයේ සත්‍යානුභාවයෙන් සෙත් පැතීම පිරිත් දේශනාවෙන් කරනවා. එසේම පිරිත් දේශනාව මඟින් බෞද්ධයින්ට ආධ්‍යාත්මික වශයෙන් ගොඩනැ‍ඟෙන චිත්ත පාරිශුද්ධිය පදනම් කරගත් ගුණ සමුදායකින් බියට, විපතට පත්වූවන්ට ආරක්ෂාව, සෙත්ශාන්තිය ළඟාකරගන්න පුළුවන්. * පිරිත් දේශනාවකට සම්බන්ධ විය යුතු ස්වාමින්වහන්සේලාගේ සංඛ්‍යාව පිළිබඳ නියමයක් බුද්ධ දේශනාවේ තියෙනවද? සාමාන්‍යයෙන් පිරිත් දේශනාවකට ස්වාමින්වහන්සේලා අටනමක් හෝ දොළොස් නමක් නියත වශයෙන්ම සහභාගිවනවා. ධර්මයේ “අට්ඨවා සෝලසවා’ යනුවෙන් මෙය සඳහන් වී තිබෙනවා. * දින පිරිත්, වරු පිරිත්, සති පිරිත්, ආදී වශයෙන් පිරිත් දේශනා ක්‍රමවේද රාශියක් ප්‍රචලිතව ඇත්තේ ඇයි? පිරිත් දේශනා ක්‍රමයේදී දින පිරිත්, සති පිරිත්, වරු පිරිත්, පලාත් මට්ටමින් පිරිත් චාරිත්‍ර විධි තිස්පැයේ පිරිත, තුන්තිස් පැයේ පිරිත හෙවත් තුන්වේලේ පිරිත, පස්වේලේ පිරිත හෙවත් තිස් පෑ හතේ පිරිත, තිස් පෑ පහේ පිරිත, හත්වේලේ පිරිත, අලුත් කූරු හෙවත් සියනෑ ආදී කොළරබද පිරිත, ආදි පිරිත් ක්‍රමවේද ගණනාවක් දකින්නට ලැබෙනවා. මේවා මේ ආකාරයට ප්‍රචලිතව තිබෙන්නේ පිරිත් දේශනාව සිදුකරනු ලබන කාලපරාසය, පිරිත් දේශනාවේ අරමුණ, ඒ ඒ පිරිත් ක්‍රමවේද ආවේනිකත්වයක් නැතිනම් බහුලව පවතින පළාත්බද ප්‍රදේශ ආදී කරුණු පදනම් කරගෙන.